බුවනෙකබාහු රජු සමයේ රාජ සභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව සිරදඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන රුපියල් කෝටියක පමණ වන මුදල හිටපු නගරාධිපති ඇතුළු පිරිසෙන් ආපසු අයකර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත.
එම මුදල නැවත අයකර ගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනාට අධිභාර නිවේදන යැවීමට කටයුතු සකස් කරමින් පවතින බව වාර්තා වේ. රාජ සභා මණ්ඩපය කඩා දැමීම නගර සභාවට අයත් පොදු කටයුත්තක් බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කීප දෙනෙකුටම ගාස්තු ගෙවීම සඳහා නගර සභා පොදු ගිණුමෙන් මෙම මුදල ලබාගෙන තිබිණි. මුදල් ලබා ගැනීම සඳහා වන යෝජනාවට ජවිපෙ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු හැර අනෙකුත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය මත සභා අනුමැතියද ලබා ගෙන තිබිණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ එම නඩුව හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස පරාජය වීම හේතුවෙන් නගර සභා ආඥා පනතට අනුව ඔවුන් වෙනුවෙන් වැය කළ මුදල නැවත ප්‍රතිපූරණය කර ගැනීමට සිදු වන බව නගර සභාවේ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. හිටපු නගරාධිපති ඇතුළු පිරිස මේ වනවිට බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඔවුන්ට අධිභාර නිවේදන තැපැල් මගින් භාරදීම ගැටලුවක් වන බැවින් ඒ පිළිබඳ නීතිපතිගේ උපදෙස් ලබා ගන්නා බවද එම නිලධාරියා සඳහන් කරයි.
එම නඩු කටයුතු සඳහා නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන මුදල අය කරගැනීමේදී එම නීති විරෝධී කටයුත්තට අනුමැතිය ලබා දුන් මන්ත්‍රීවරුන්ගෙන්ද අය කර ගත යුතු බව බොහෝ පාර්ෂව මේ වනවිට සඳහන් කරති. එම නඩු කටයුතු සඳහා නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන මුදල අය කරගැනීමේ යෝජනාවට එදින විරුද්ධ වී ඇත්තේ කුරුණෑගල හිටපු නගරාධිපතිවරයකු වන ගාමිණී පෙරමුණගේ හිටපු නගරාධිපතිවරයකු වන සුමේධ අරුණශාන්ත සහ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී රණුක සනන්ජය යන තිදෙනා පමණි.
එම නඩු කටයුතු සඳහා නගර සභා ගිණුමෙන් මුදල් වැය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට සූදානම් වනව මොහොතේ සිට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රණුක සනන්ජය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, මෙය නීති විරෝධී කටයුත්තක් බව දිගින් දිගටම අනාවරණය කරන ලදී.










