හිටපු DIG රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් අරගෙන – වසන්ත සමරසිංහ අල්ලස් කොමිසමට පැමිණිලි කරයි

හිටපු DIG රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් අරගෙන – වසන්ත සමරසිංහ අල්ලස් කොමිසමට පැමිණිලි කරයි

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ලබා ගෙන ඇති බව සඳහන් කරමින්, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පසුගිය 20 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඊට අදාළ ලිපි ලේඛන සහිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර අල්ලස් පනතේ විධිවිධාන යටතට ගැනෙන විෂමාචාරයන් සිදුකර ඇති බවත් එහි දැක්වේ.

2015 දෙසැම්බර් මස 26 වැනිදා දූෂණ විරෝධී හඬ සංවිධානය ක්‍රිෂ් සමාගමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි. ඊට අදාළව අධිකරණ කටයුතු සිදු කරමින් තිබියදී එවකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව කටයුතු කළ රවි වෛද්‍යලංකාර නියෝජ්‍ය පොලිස්පති තම කොට්ඨාසය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් පුද්ගලික සමාගමට අදාළව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය නොකරන බවත් එකී පුද්ගලික සමාගම වරදක් හෝ වංචානික ක්‍රියාවක් සිදුකර ඇති බව හෙළිවී නොමැති බවත් 2016 ජුලි 12 වැනිදා ලිපියක් මගින් කියා ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

අදාළ සමාගම වරදක් කර නොමැති බව ඔහු පවසා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඒකක 07 ස්ථානාධිපති ක්‍රිස් සමාගමේ පරිගණක යන්ත්‍ර පරීක්ෂණයට භාජන කළ යුතු බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබියදී බවද එහි දැක්වේ.

අධිකරණ කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවක රවී වෛද්‍යලංකාර එම සමාගම චෝදනාවලින් නිදොස් කොට ලිපියක් නිකුත් කරනුයේ අදාළ සමාගමෙන් අල්ලස් ලබා ගැනීම මත බව වසන්ත සමරසිංහ සිය පැමිණිල්ලෙන් සඳහන් කරයි.

එලෙස ලිපි යොමු කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 28 වැනිදා ක්‍රිෂ් සමාගමේ නව අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලැබ ඇති බවත් එම පත්වීම ඔහු සහ සමාගම අතර පවතින සම්බන්ධතාවන්හි ප්‍රතිඵල බවත් මෙම පැමිණිල්ලෙන් වැඩිදුරටත් දක්වා ඇත.

එබැවින් මෙම වංචනික ක්‍රියාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සිය පැමිණිල්ලෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

ආශ්‍රිත පුවත්

නාමල්ලාගේ ක්‍රිෂ් ගනුදෙනුවට පොලිස් ලොක්කෙකුත් හවුල් – දූෂණ විරෝධී හඬ හෙළි කරයි

Facebook
Twitter
LinkedIn