කැස්බෑව නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීන්ට ජනතා සේවයට ඉඩක් නැහැ – ජවිපෙ කියයි

කැස්බෑව නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීන්ට ජනතා සේවයට ඉඩක් නැහැ – ජවිපෙ කියයි

පොහොට්ටුව බලය හොබවන කැස්බෑව නගර සභාවේ සිදුවන නීත්‍යානුකූල නොවන ක්‍රියාපටිපාටියට සහ විපක්ෂයේ ජනතා නියෝජිතයින්ට ජනතා සේවය සඳහා පොදු අරමුදලින් ප්‍රතිපාදන වෙන් නොකිරීමට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණේ කැස්බෑව නගරසභාවේ මන්ත්‍රීවරුන් ඊයේ(07) දින සභාව වර්ජනය කරමින් විරෝධතාවයක නිරතව ඇත.

පළාත් පාලන ආයතන මගින් විසඳිය යුතු එහෙත් මෙතෙක් විසඳී නොමැති ජනතා ගැටළු සම්බන්ධව විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙනඑන යෝජනා න්‍යාය පත්‍රයට ඇතුළත් කොට සාකච්ඡා කිරීම නීත්‍යානුකූල පිළිවෙල වුවද ජවිපෙ ඇතුළු විපක්ෂය ගෙන එන යෝජනා න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ කැස්බෑව නාගරික මන්ත්‍රී වසන්තා මාලිනී මහත්මිය එහිදී පවසා තිබේ.

එසේම ජනතා බදු මුදලින් සැකසෙන පොදු අරමුදලින් කිසිඳු ප්‍රතිපාදනයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ජනතා සේවා සඳහා වෙන් නොවන බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ජනතා සේවා සඳහා පොදු අරමුදලින් යම් ප්‍රතිපාදනයක් වෙන් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවද එවැනි ප්‍රතිපාදනයක් වෙන් නොකරන බව වසන්තා මාලනී මහත්මිය සහ ජවිපෙ මන්ත්‍රී අසංක සොයිසා මහතා පවසයි.

ඊට අදාල යෝජනාව ඊයේ නගර සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ බලය හිමි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්, වසන්තා මාලනි මහත්මියට පරිභව කරමින් එය ඉවත්කළ බව ද වාර්තා වේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන එන යෝජනා නැවත පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන එම අරමුදල්වලින් අදාල සේවාව සිදුකර ගැනීමට විපක්ෂයේ මහජන නියෝජිතයන්ට සිදුව ඇති බවද ඔවුන් චෝදනා කර සිටියි.

කෙසේ වෙතත් මෙම නීත්‍යානුකූල නොවන ක්‍රියා පටිපාටියට ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඊයේ දින සිය විරෝධතාවය පලකර සිටි බවත් ඉදිරියේදී පළාත් පාලන කොමසාරිස්වරයාට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට ද බලාපොරොත්තු වන බවත් ජවිපෙ පවසයි.

Facebook
Twitter
LinkedIn