ආණ්ඩුව නිසා ජනතාව පල්ලමට වැටිලාද?

ආණ්ඩුව නිසා ජනතාව පල්ලමට වැටිලාද?

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රාජ්‍ය අංශයේ, අවිධිමත් හා පුද්ගලික අංශයේ මෙන් ම, කෘෂිකර්මාන්තයේ යෙදී සිටින සියළුම වැඩ කරන ජනතාවගේ ආදායම් ඉහළ ගොස් ඇති අතර, එම ආදායමට සාපේක්ෂව මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වූ 2024 සැප්තැම්බර් මාසය අවසන් වනවිට රාජ්‍ය අංශයේ සේවකයින්ගේ නාමික වැටුප ඒකක 161.3ක් වී තිබූ අතර, එම වැටුපෙන් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඒකක 70.7ක් වී තිබිණි. එය මෙම වසරේ ජූලි මස අවසන් වනවිට නාමික වැටුප ඒකක 192.6ක් ද, එමගින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඒකක 77.1ක් දක්වා වර්ධනය වී තිබේ.

අවිධිමත් මෙන් ම පුද්ගලික අංශයේ සේවකයින්ගේ නාමික වැටුප 2024 සැප්තැම්බර් අවසන් වනවිට ඒකක 181.9ක් වූ අතර, 2026 ජූනි මස අවසන් වනවිට එම අගය 207.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම වැටුපෙන් ලබා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය 2024 සැප්තැම්බර් අවසානය වනවිට ඒකක 87.6ක් වූ අතර, මේ වනවිට එම ප්‍රමාණය ඒකක 92 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන් ම කෘෂිකාර්මික අංශයේ සේවකයින්ගේ නාමික වැටුප 2024 සැප්තැම්බර් අවසන් වනවිට ඒකක 180.1ක් වී තිබී මේ වනවිට එය ඒකක 207.6ක් දක්වා ඉහළ ගොස් ඇත. එයින් ලබා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය 2024 සැප්තැම්බර් අවසන් වනවිට ඒකක 88.4 සිට මේ වනවිට ඒකක 92.1ක් දක්වා ඉහළ ගොස් ඇත.

කර්මාන්ත අංශයේ ද නාමික වැටුප ඒකක 180.1 සිට 209.5 දක්වා ඉහළ ගොස් ඇත. එයින් ලබා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඒකක 86.8 සිට ඒකක 92.9 දක්වා ඉහළ ගොස් තිබේ. සේවා අංශයේ ඒකක 184.3 සිට 201.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, ලබා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඒකක 88.8 සිට ඒකක 89.5 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන මාසික ආර්ථික විවරණය ප්‍රකාශනයෙන් මෙම දත්ත හෙළි කර තිබේ.

Facebook
Twitter
LinkedIn