සංවිධානාත්මක අපරාධ සැකකරුවන් 66ක් දිවයිනට – රු. මි. 6000ක දේපළත් තහනම් කරලා

සංවිධානාත්මක අපරාධ සැකකරුවන් 66ක් දිවයිනට – රු. මි. 6000ක දේපළත් තහනම් කරලා

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල වී තිබියදී මෙරටින් පලා ගොස් සිටි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන් සහ වෙනත් සැකකරුවන් 66 දෙනෙකු වර්තමාන රජය බලයට පත් වූ 2024 සැප්තැම්බර් 21 දා සිට මේ දක්වා මෙරටට ගෙනැවිත් තිබේ.

මේ සැකකරුවන්ද ඇතුළුව සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලත් සැකකරුවන්ට අදාළ විමර්ශන 113කට සම්බන්ධ රුපියල් මිලියන 6,000ක (රු. 6,000,154,630.75) දේපළ තහනම් කිරීමටද මේ කාලය තුළ කටයුතු කර ඇත.

මේ අයුරින් සැකකරුවන් 102කට අයත්ව තිබූ රුපියල් මිලියන 5,423ක දේපළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වන අතර, පුද්ගලයන් තිදෙනෙකුට අයත් රුපියල් මිලියන 209ක් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපළ වේ. පිරමිඩ වංචා, ළමා අපයෝජන සහ පුපුරන ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ 08 දෙනෙකුගේ රුපියල් මිලියන 367ක දේපළද මේ අතර වේ.

මෙසේ තහනම් කරන ලද දේපළ අතර රත්රන් කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම්. 140ක්, අක්කර 136ක ඉඩම්, නිවාස 55ක් සහ වාහන 142ක් ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

වර්තමාන රජය බලයට පත් වීමෙන් පසු මෙරටට රැගෙන ආ සැකකරුවන් අතර රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 28ක් සිටින අතර, රතු නිවේදන නිකුත් කර නැති සැකකරුවෝ 38ක් සිටිති. 2024 සැප්තැම්බරයෙන් පසු මේ වනවිට අන්තර්ජාතික පොලිසිය හරහා සැකකරුවන් රැගෙන ඒමට අවශ්‍ය රතු නිවේදන 110ක් අලුතින් නිකුත් කර තිබේ. එසේම පසුගිය අගෝස්තු 18දා වනවිට මෙරට පොලිසිය මගින් නිකුත් කර ඇති සමස්ත රතු නිවේදන සංඛ්‍යාව 236කි. ඒ අතුරින් රතු නිවේදන 96ක් සංවිධානාත්මක අපරාධ සැකකරුවන් සඳහා ලබාගෙන ඇත.

පොලිස් මූලස්ථාන වාර්තා පෙන්වා දෙන ආකාරයට ඒ අතුරින් 35 දෙනෙකු සිටින රටවල් හඳුනාගෙන තිබේ. ඒ අනුව, සැකකරුවන් 18ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, 11ක් ඉන්දියාවේද, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, කැනඩාව සහ ඉතාලිය යන රටවල සැකකරුවකු බැගින්ද සැඟවී සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්