“අපි එක්දහස් නවසිය අසූනවයෙන් පස්සේ හැම අවුරුද්දකම නොවැම්බර් 13 වැනිදා කොහේ හිටියත්, කුමන තත්්වයක සිටියත්, අපේ පක්ෂයේ නිර්මාතෘ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා, එවකට පක්ෂයේ ප්‍රධාන ලේකම්ව සිටි උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු සියලූම සහෝදර, සහෝදරියන් අනුස්මරණය කරනවා. අදත් අපි යුතුකමක් සහ වගකීමක් හැටියට මෙතැනට එකතු වී ඉල්මහ සමරුවට සම්බන්ධ වෙනවා.
ඉල්මහ විරු සමරුව අපට නිකම්ම සැමරීමක් නොවෙයි. ඉදිරි දේශපාලන කටයුතුවලට ධෛර්යය එකතු කර ගන්න විශ්වාසය එකතු කර ගන්න ආදර්ශ සහ අත්දැකීම් එකතු කර ගන්න සහ අලුත් දැනුම සමඟ ගළපා අපි හමුවේ තිබෙන අභියෝග ජය ගන්නයි. ඉල්මහ සමරුවේදී අපි සමරන සහෝදර, සහෝදරියන් අපට විශාල අත්දැකීම් සහ දැනුමක් ඉතිරි කර තව සියවස් ගණනකට පවතින්න ආලෝකය ලබා දෙනවා. අවුරුදු දෙකක් අපි ඉල්මහ සමරුව පැවැත්වූයේ රටේ වෙනස් තත්වයක් තුළ. බලයට පත් වුණු දේශපාලන ව්‍යාපාරයක් හැටියටයි. ඒ නිසා අපි හමුවේ තිබෙන අභියෝග වෙනස් වී තිබෙනවා. මෙයට ඉස්සර සතුරා විසින් දෙවරක් මර්දනය කරන ලද අපේ පක්ෂය ගොඩනඟන්න මැදිහත් වුණා. දැන් අපි හමුවේ තිබෙන්නේ අපේ රට ගොඩ ගනිමින්, පුළුල් සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තනයක් කිරීමයි. එය පෙරට වඩා දුෂ්කර කාර්යක්. නමුත්, සතුරා දෙවරක් මර්දනය කළ දේශපාලන ව්‍යාපාරය ධෛර්යයෙන් ගොඩනැඟුවා වාගේම හිටපු පාලකයන් වට්ටපු මවුබිම ගොඩ ගන්නත් හැකි බව අපට විශ්වාසයි. අපේ රට ලෝකයේ හොඳම රට බවට පත් කරන්න අපට හැකි බව විශ්වාසයි.
නොවැම්බර් මාසයේ මේ දවස් වෙනකොට අසූනවයේ අරගලය ගැන සමාජයේ බොහෝ දෙනා කතා කරන්න පටන් ගන්නවා. මේ විදියට කතා කරන කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. එක්දහස් නවසිය හැත්තෑහතේ සිට රට තුළ දැවැන්ත මර්දනයක් දියත් කරමින් ඇවිත්, එක්දහස් නවසිය අසූතුනේ දී අපේ පක්ෂය තහනම් කළ ලංකාව පාවා දුන් අරගලයකට මඟපෑදූ ම්ලේච්ඡ මර්දනයක් දියත් කළ එක්සත් ජාතික පක්ෂයේ ඉතිරිව සිටින කිහිපදෙනා කතා කරනවා. ඔවුන් මේ අරගලයේ හේතු ගැන කතා නොකර ප්‍රතිඵලය ගැන කතා කරනවා. ඔවුන්ගේ කි‍්‍රයාකලාපය ගැන කතා නොකර අප ගැන කතා කරනවා. ජනමාධ්‍ය බලය, සල්ලි බලය, මත පළකිරීමේ බලය යන සියල්ල යොදා ගනිමින්, ‘88-89 ජේ.වී.පී. භීෂණය’ කියලා මත පලකළා. ඇත්තටම සිදු වුණේ එක්දහස් නවසිය හැත්තෑහතේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ භීෂණයක් නම් තිබුණා. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා බලයට ඇවිල්ලා, විධායක ජනාධිපති ධුරය ගොඩනඟා අලුත් ව්‍යවස්ථාවක් හදලා, සියලු ජන කණ්ඩායම් මර්දනය කරන්න පටන් ගත්තා. සාමාන්‍ය ජනතාවට ගැහැව්වා. වැඩ වර්ජන කඩාකප්පල් කර වැඩ කරන ජනාතාව ඝාතනය කළා. එක්දහස් නවසිය අසූවේ ජූලි වර්ජකයන් ලක්ෂයකට ආසන්න පිරිසක් රස්සාවලින් එළියට දැම්මා. භික්ෂුන් වහන්සේලාට, අන්ධ ජනතාවට පවා පහර දුන්නා. යුක්තිය වෙනුවෙන් තීන්දු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස් ඉදිරිපිට “හූ” කියලා ගල් ගැහැව්වා. ඒ වාගේ භීෂණයක් පවත්වාගෙන ඇවිත්, එක්දහස් නවසිය අසූතුනේ කළු ජූලිය නිර්මාණය කර අපේ රටේ දෙමළ ජනතාවගේ ජීවිත සහ දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ කර සංස්කෘතික විනාශයකුත් සිදු කරමින්, ඒ චෝදනා ජනතා විමුක්ති පෙරමුණට එල්ල කර පක්ෂ තුනක් තහනම් කළා. ඒ භීෂණයේ වගඋත්තරකරුවන් අතුරින් රනිල් වික්‍රමසිංහ එක්කෙනෙක්.
රෝහණ විජේවීර සහෝදරයා මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැඟුවේ රට වෙනස් කරන්න. පොදු ජනතාව සංවිධානය කර ඒ ජනතාවත් සමඟ ඉදිරියට ගිහින් බහුතරයකගේ කැමැත්තෙන් බලය ගැනීමේ ශුද්ධ වූ දේශපාලන අයිතියක් අපට තිබෙනවා. අපි ඒ අයිතිය මරණය ඉදිරියේවත් අත්හැරියේ නැහැ. අපි ඔප්පු කළේ ජයවර්ධනගේ මර්දනය ඉස්සරහා ජනතාවගේ අයිතීන් වෙනුවෙන් දේශපාලනය කරන බවයි. පක්ෂය තහනම් කළ පසු ඒ තහනම ඉවත් කරගෙන නැවත ප්‍රසිද්ධ දේශපාලනයට එන්න අවුරුදු ගාණක් විශාල උත්සාහයක් දැරුවා. ඒ අතර, අපිව මර්දනය කරමින්, රජීව් ගාන්ධි එක්ක ගිවිසුම් අත්සන් කොට රට පාවාදී, ඉන්දියානු හමුදාව ගෙන්වීමට එරෙහිව ජනතාව තුළින් අරගලයක් පැන නැංගා. ඒ අරගලයේ දී හැටදහසකට වඩා ජනතාවක් ඝාතනය කළා. විශාල පිරිසක් ඝාතනය කිරීමෙන් පසු එක්දහස් නවසිය අසූනවයේ නොවැම්බර් දහතුන් වැනිදා රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු නායකයන් පිරිසක් ඝාතනය කර පක්ෂය විනාශ කළ ඉතිහාසය අමතක කර එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනා කතා කරනවා. මේ පිරිස කියන දේවල් අහලා, කටපාඩම් කර ගත් පස්සේ පරම්පරාවල පිරිසක් කිසිම අවබෝධයක් නැතිව කියවමින් යනවා. ඒ අයට ඉතිහාසය උගන්වන්න ඕනෑ. එවැනි ඉතිහාසයක් නැවත කිසි දවසක නොවන නිසා ඔවුන්ට නිවැරැදිව පාඩම් කියා දී, නිවැරැදි ඉතිහාසය ලිවීම අප හැමෝටම භාර වී තිබෙනවා. අපිට තේරෙන්නෙත් නැති මොනවා හෝ කියැවීම් අපිත් සමඟ වෛර බැඳගත් පිරිසකුත් ඉන්නවා. ඒ ගොල්ලෝ මොකක් හරි හොයාගෙන අපට ගහලා දානවා. අපි ඒ අයට අනුකම්පා කරන්න ඕනෑ, ඊට අමතරව අතීත සිදුවීම් එහෙන් මෙහෙන් අහුලාගෙන තොරතුරු විකෘති කරමින්, ලිපි ලියමින්, පොත් ලියමින්, ආදායම් මාර්ගයක් කර ගත් පිරිසක් ඉන්නවා. ඇත්ත සහ ප්‍රබන්ධ එකතු කරමින්, ඉතිහාසය විකෘති කර සමාජගත කරන පිරිසක් මේ අය.
මෙවැනි සිදුවීම් සිදු නොවන්න ඇත්ත ඉතිහාසය සමාජගත කිරීමේ සහ ලිවීමේ වගකීම අපි හැම දෙනාටම පැවරෙනවා. මේ රටට ආදරය කළ රට ගොඩනඟන්න වෙහෙස වූ, ඒ වෙනුවෙන් සියලු කැප කිරීම් කළ ආදරණීය සහෝදර, සහෝදරියන් රැසක් අහිමි වූ අපි වින්දිතයන්. 88-89 සහ 71 කැප කිරීම් කළ සහෝදර, සහෝදරියන්ට සාධාරණය ඉටු කරන්න නම්, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනෑ. සමහරු අහනවා, මිය ගිය අපේ සහෝදර, සහෝදරියන්ට ඉටු කරන්නේ නැද්ද කියලා. ඔවුන්ට සාධාරණය ඉටු කිරීමේ බැඳීම අපට තිබෙනවා. එය කළ හැක්කේ දිවි පිදූ ඒ හැම දෙනාගේම පොදු අරමුණ වූ නව සමාජයක් නිර්මාණය කිරීමයි. අපි ඒ වෙනුවෙන් අතගහලයි තියෙන්නේ. අපි බලයට ආවෙත් ඒකට. ඊට අමතරව ඒ කාලය පිළිබඳව සාධාරණ, පුළුල් පරීක්ෂණයක් සිදු කරන්න ඕනෑ. එය නිවැරදිව කරන්න ඕනෑ. ඒ නිසා කළබල වෙන්න ඕනෑ නැහැ. 88-89 කාලයේ අඩුපාඩුකම්, නොවිය යුතු දේවල් සිදු වුණු බව අපි පිළිගෙන තිබෙනවා. ඒත්, ඒ සියල්ල සිදු වුණේ පොදු අරමුණක් වෙනුවෙන් කි‍්‍රයා කිරීමේදී. එක්සත් ජාතික පක්ෂයට තිබුණේ කෙසේ හෝ බලය රැකගැනීමට මර්දනය දියත් කළ කැත කළු අරමුණක්. අපට තියෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනඟා දීමයි. ඒ අරමුණ නිසා තමයි, එක්දහස් නවසිය අසූනවයෙන් අවුරුදු තිස්පහකට පසු ජනතාව අපට බලය දුන්නේ. අපි පක්ෂය ගොඩනඟන අතරම රට ගොඩනැඟීම කියන වගකීම් දෙකක් වෙනුවෙන් දැන් කැප කිරීම් කරනවා. රට ගොඩනඟන එක පක්ෂය ගොඩනඟනවාට වඩා දුෂ්කර බව අපි කවුරුත් දන්නවා.
සමාජයක් පරිවර්තනය කිරීමේදී භෞතිකමය දේවල් ගොඩනැඟීම දුෂ්කර වුවත්, පහසුයි. නිවැරැදි සැලැස්මක්, මුදල් සහ කාලය යොදවමින්, වසරින් වසර ඉදිරියට යන කි‍්‍රයාකාරීත්වයකට ආණ්ඩුව කැප වී සිටිනවා. ඊට වඩා අමාරුයි, සමාජය වෙනස් කිරීම. පාරක් හැදුවාම, මෙට්‍රො බස් සේවාව හඳුන්වා දුන්නාම සමාජයක් වෙනස් වෙන්නේ නැහැ. පසුගිය අවුරුදු සියයකට වැඩි කාලයක් ජනතාව හිතපු විදිය වෙනස් කරමින්, සමාජය ගොඩනඟන්න ඕනෑ. ඒ අය ඉවසීමෙන්, ක්‍රමානුකූලව වෙනස් කරන්න ඕනෑ. ඒ අභියෝගය ජයගත හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික බලවේගය පමණයි. ඒ වෙනුවෙන් කැප කිරීම් සහ හොඳම ආදර්ශය තියෙන්නේ මෙතැනයි. මරණය ඉදිරියේ අරමුණු අත්නොහැර දිවි පිදූ පරපුරක ධෛර්යයෙන් අපි මේ රට සහ සමාජය ගොඩනඟනවා. මේ සැමරුම වටින්නේ ඒ අත්දැකීම් සහ කැප කිරීම් තුළින් ශක්තිය ලබා ගන්නයි. සතුරන්ගේ පක්ෂ තුළ සිටි පොදු ජනතාව දිනාගත හැකි වූයේ ඒ අතීත විරුවන්ගේ ආදර්ශ ලබා ගනිමිනුයි. රෝහණ සහෝදරයා ඇතුළු සහෝදරවරු තිස්සමහාරාම බස් නැවතුම්පොළේ මුට්ට කර ගහලා, හොයා ගත් සල්ලිවලින් ජීවිතය ගැටගහගෙන ගොඩනැඟූ පක්ෂයක් මේක. තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී පොදු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඕනෑ ම කැප කිරීමක් කරන්න ඉගැන්වූ දේශපාලන ව්‍යාපාරයක් මේක. ආණ්ඩු බලය ගත් පසු කලින් තිබූ දුෂ්කරතා අවම වී තිබුණත්, මේ රටේ භෞතික සම්පත් ගොඩනඟමින්, ජනතාව වෙනස් කිරීමේ අභියෝගය තිබෙනවා. පසුගිය දිනවල ඇදහැළුණු දාරාණිපාත වර්ෂාවෙන් කොළඹ සමහර ප්‍රදේශ යට වුණු පසු අපේ සහෝදරවරු ශ්රමදානවලින් ඇළ මාර්ග සහ කාණු ශුද්ධ කළා. වතුර බහින මාර්ග අවහිර කර තිබුණේ, අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හෙළා තිබීමෙන්. ජනතාව කාලයක් තිස්සේ පුරුදු වෙලා තිබෙන මේ ක්‍රමය වෙනස් කිරීම අභියෝගයක්. මහපාරේ විනය ඇති කිරීම අභියෝගයක්. මේ අභියෝග ජය ගැනීමට ආදර්ශය, ඉවසීම, කැප වීම අත්‍යවශ්‍යයි.
ආණ්ඩුවක් හැටියට හොරකම්, දූෂණ, වංචා නවත්වා මූල්‍ය විනය ගොඩනඟමින්, අලුත් ගමනක් පටන්ගෙන ජනතාවගේ මුදල් රට ගොඩනැඟීමට යොදවා තිබෙනවා. ඒ වෙනුවෙන් වෙනස් අධ්‍යාත්මයක් සහිත මිනිසුන් ගොඩනැඟීමේ ආදර්ශය අපි ලබාදීමේ වගකීම අපට තිබෙනවා. අලූත් මිනිසෙක් නිර්මාණය කිරීමේ වගකීම, තමන්ට විතරක් නොවෙයි, පොදු ජනතාවට ආදරය කිරීමේ, මනුෂ්‍ය වර්ගයාට ආදරය කිරීමේ ජනතාවක් අපට ඕනෑ. දූෂිත ලෝකයක් ඇතුළේ අදූෂිත ජනතාවක් අපට ඕනෑ. එවැනි ජනතාවක් නිර්මාණය කිරීමේ ආදර්ශවත් දේශපාලනයක් අප ගොඩනඟා තිබෙන්නේ. රෝහණ සහෝදරයා කැප කිරීම් කළේ නැත් නම්, ආදර්ශවත් විනයක් තිබුණේ නැත් නම්, මේ වැනි දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟෙන්නේ නැහැ. කුමන තත්වයක් තුළවත් අපේ ගුණාංග බිඳෙන්න නොදී, පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යනවා. තනි තනි පුද්ගලයන් අතින් බිඳෙන්නත්, බිඳින්න උත්සාහ කරන්නත් පුළුවන්. ඉතිහාසයේත් එහෙමයි. එදත් අපි පුද්ගලයා පැත්තකින් තියලා, ව්‍යාපාරය ආරක්ෂා කරලා තිබෙනවා. අදත්, හෙටත් ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් එහෙම කරන්න අපි ලෑස්තියි. අපි හොඳ වුණේ නැත් නම්, අපට හොඳ රටක් හදන්න බැහැ. අදූෂිත සමාජයක් හදන්න අපි අදූෂිත වෙන්න ඕනෑ. අපේ හතුරොත් ඒ බව පිළිගන්නවා. එය අදටත්, හෙටටත් වලංගුයි. බලය ගත් නිසා එය වෙනස් වෙන්නේ නැහැ. සාමුහිකව වැඩ කරමින්, කැප වීමේ ආදර්ශය අපට ලබා දුන්නේ එක්දහස් නවසිය හැත්තෑඑකේ සහ 88-89 සහෝදර, සහෝදරියන්. පළාත් පාලන ආයතන, පාර්ලිමේන්තුව, අපේ ඇමැති මණ්ඩලය ඇතුළත් ආණ්ඩුව තුළ පක්ෂය තුළ වාගේම සාමුහිකත්වය පවත්වාගෙන යනවා. බලය ගත්තාම අපිත් වෙනස් වෙයි කියලා බොහෝ දෙනෙක් කීවා. බලය නැති වෙලාවේ තිබුණාට වඩා වැඩි විනයක් බලය ගත්තාට පස්සේ තියෙන්න ඕනෑ. බලය ගන්න පෙර තිබුණාට වඩා වැඩි සාමුහිකත්වයක්, කැප වීමක්, සංයමයක් බලය ගත්තාට පස්සේ අපට තියෙන්න ඕනෑ. අපි ගොඩනඟලා තියෙන්නේ එවැනි ව්‍යාපාරයක්. ගෙවුණු අවුරුදු දෙක තුළ අපි එය ඔප්පු කර තිබෙනවා.
පැරණි නටබුන් සමහර තැන්වල තවමත් තැනින් තැන තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් අතර සාමුහිකත්වය, සහෝදරත්වය ශක්තිමත්ව ගොඩනඟා තිබෙනවා. පසුගිය අවුරුදු දෙක තුළ ආගමික හෝ ජාතිවාදී හෝ ගැටුම් කිසිවක් තිබුණේ නැහැ. එය අපේ ජයග්‍රහණයක්. ඉතා කුඩා කණ්ඩායම් මේ තත්ත්වය වෙනස් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. එවැනි උත්සාහයන් සියල්ල මේ රටේ පොදු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. අපි ලබා ගත් ඉතාමත් දියුණුම ජයග්‍රහණය ඒක. ජනතාව ගොඩක් වෙනස් වී ඇති බවට උදාහරණ ගණනාවක් මෑත කාලයේ අපි දැක්කා. විරුද්ධවාදීන් සංවිධානය කළ හදිසි දුම්රිය වැඩ වර්ජනයේ දී ටිකට් නැතිව ගිය අය පසුව දා ටිකක් දෙකක් අරගෙන ගියා. ඒ ආකාරයට ණය පියවන්න පුළුවන් තරුණ පරම්පරාවක් නිර්මාණය වීම පිළිබඳව අපට සතුටුයි. රට වෙනස් වෙලා තියෙන්නේ. විශේෂයෙන් ම තරුණ පරපුර පැරණි දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා. විපක්ෂයේ ඉතිරි වී ඉන්න සුන්බුන් නඩයට ඒ බව තේරෙන්නේ නැහැ. පරණ නාඩගම් නටමින්, ජනතාව ඉදිරියේ බහුරූ කෝලම් බවට පත් වෙලා. දැන් ගරු කරන්නේ ප්රභූන්ට නොවෙයි, යුක්තියට, සාධාරණත්වයට, මනුෂ්‍යත්වයට. එවැනි තරුණ පරපුරක් සිටීම රටේ ජයග්‍රහණයක්. එවැනි පිරිසක් ගොඩනැඟුණේ විශාල කාලයක් කළ කැප කිරීම් නිසයි. ඒ වෙනුවෙන් මානවවාදී ගුණාංග එකතු කර ගන්න අපේ දිවි පිදූ සහෝදර, සහෝදරියන් ආදර්ශ සපයා තිබෙනවා. පොදු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් මරණය වුවත් භාර ගන්න සූදානම් වීමයි මානවවාදය කියන්නේ. අපව බලයට ගෙනාවේ මේ ගුණාංග නිසයි. එන්.පී.පී. එක බලයට ආවොත්, වංචාවෙන්, දූෂණයෙන් තොරව භාර ගන්නා වැඩ කොටස හරියට කරයි කියන විශ්වාසයක් හැම දෙනා තුළ ම තිබුණා. ජනතාව අපත් එක්ක බැඳුණේ ඒ නිසයි. ඒ ගුණාංග එදා වාගේම බලය ගත් පසුත් රැුකෙන්න ඕනෑ. බලය ගන්න කලින් සීයක් කැප කිරීම් කළා නම්, බලය ගත් පසු දෙසීයක් කැප කිරීම් කරන්න ඕනෑ.
අපේ ව්‍යාපාරයේ තිබෙන මේ විශේෂත්වයන් සමාජය තේරුම් ගන්න ඕනෑ. පවුල් උරුමයෙන් තොර දේශපාලනයක් කිරීමේ ව්‍යාපාරයක් අපි ගොඩනඟා තිබෙනවා. තාත්තාගෙන් පුතාට යන නායකත්වයක් අපේ ව්‍යාපාරයේ නැහැ. මේ ව්‍යාපාරය තුළ කිසි කෙනෙක් එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. තමන් ගැන අගය කිරීමක්, තමන්ට ලැබිය යුතු පංගුවක් ගැන අදහසක් මේ කිසි කෙනකුට නැහැ. ඒ බව ඉතාමත් සන්තෝෂයෙන් කියන්න හොඳම සාක්ෂියක් තිබෙනවා. අපේ උපතිස්ස ගමනායක සහෝදරයාගේ බිරිඳ කරුණා ගමනායක, කරුණා අක්කා ඔබ අතරේ වාඩිවී ඉන්නවා මම දැක්කා. ඇය පුටුවක් ඉල්ලාගෙන වේදිකාවට ආවේ නැහැ. ගමනායක සහෝදරයාගේ දියණියත් පැත්තකින් වාඩිවී ඉන්නවා මම දැක්කා. අපි ගමනායක සහෝදරයාව, රෝහණ සහෝදරයාව සමරන අතර, ඒ පවුලේ අය ඔබ අතර සිටිමින් අහගෙන ඉන්නවා. මේ වැනි දේශපාලන සංස්කෘතියක් නොවෙයි ද, අපේ රටට ඕනෑ. රෝහණ සහෝදරයලා, ගමනායක සහෝදරයලා අපට ඉගැන්වූයේ ඒවා. හොඳම දේවල් අනාගතයට රැගෙන යා යුතු බව අපි කියන්නේ ඒ නිසයි. අපි බලය ගත් පසු ජනතාව සතුටින් ඉන්න අතර, ඒ වෙනුවෙන් රටක් ගොඩනැඟීමට පෙරටත් වඩා කැප කිරීම් කරන්න අපි ලෑස්තියි කියන පණිවුඩය මේ වේලාවේ අවධාරණය කරනවා.
ඉල් මහ විරුවන් ඉදිරියේ ඒ බව නැවත අවධාරණය කරනවා. ගෙවුණු අවුරුදු දෙක තුළ අපි ඉදිරියේ තිබුණු විශාල අභියෝග රැසක් අතර ආර්ථිකය ගොඩ ගැනීම මූලික වී තිබුණා. මුදල් ඇමැතිවරයා විදියට අනුර සහෝදරයාත්, ඒ අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමත් හැම දෙයක් ගැනම සමාලෝචනය කරමින්, ගොඩ ගෙන තිබෙනවා. ලෝකයේ පිළිගත් ආයතන නිකුත් කරන ආර්ථික දර්ශක සියල්ලෙන්ම අපි ඉදිරියට ඇවිත් සිටිනවා. බංකොළොත් වූ රටක් ඉතා ඉක්මනින් ගොඩ ගැනීම ගැන ලංකාව හොඳම ආදර්ශය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඕනෑම කම්පනයකට ඔරොත්තු දීමට තරම් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් බව ඔවුන් කීවා. ‘දිට්වා’ ව්‍යසනය හරියට කළමනාකරණය කර ගනිමින්, තවමත් හරියට අවසන් නැති මැදපෙරදිග යුදමය තත්වය කළමනාකරණය කරමින්, ආර්ථිකය විශාල වශයෙන් ගොඩනඟා තිබෙනවා.
දැන් අපේ රටේ සියලුම ආයතන තුළ අලූත් සංස්කෘතියක් ගොඩනඟන්න ඕනෑ. මේ ආයතන සහ සමාජය පැරැණි සංස්කෘතියේ ගිලී තිබෙනවා. ඒ තත්වය වෙනස් කර අලුත් සමාජයක් ගොඩනැඟීමේ මඟපෙන්වීම කිරීමේ වගකීම තිබෙන්නේ අපි සියලූ දෙනාට. බලය ගත් පසු අපට තිබෙන වගකීම් වැඩි බව කියන්නේ ඒ නිසයි. දැන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ වාමාංශික, ප්රගතිශීලී, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව රටට ආදරය කරමින්, ගොඩනැඟීමේ පිල නියෝජනය කරනවා. අනෙක් පැත්තේ අතිදක්ෂිණාංශික කණ්ඩායම්, බොරු දේශපේ‍්‍රමී කණ්ඩායම් වාගේම අතිවාමාංශික කීප දෙනාත් එකම ගොඩේ ඉන්නවා. අතිදක්ෂිණාංශයේ සිට අතිවාමාංශය දක්වා සියලුම සතුරු කණ්ඩායම් එක ගොඩේ එකම සටන් පාඨ කියමින් ඉන්නවා. මේ සමුළුවට අපි රැස් වුණේ හැමෝම භාරගත් වගකීම් නිවැරැදිව ඉටු කිරීමේ අරමුණ සහිතවයි. ජනතාව අපට අවුරුදු පහක පාලන බලය ලබා දී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු දෙක තුළ අඩුපාඩුකම්, දුෂ්කරතා, මඟහැරීම් තිබුණත්, පොදු ජනතාව භාර දුන් වගකීම ඉටු කරමින් සිටින බව ඔප්පු කරමින් තිබෙනවා. අවුරුදු දෙකෙන් සියලු ප්‍රශ්න විසඳන්න බැහැ. ආණ්ඩුවේ සිටින අයට කිසිම දෙයක් ලබා නොගෙන රට ඉදිරියට ගෙන යමින් සිටිනවා. ජනතාවට හැකි උපරිම දේ ලබා දෙමින්, යන මේ ගමන ගැන නිවැරැදිව තේරුම් ගැනීමේ වගකීමක් පොදු ජනතාවට තිබෙනවා. චීන විප්ලවයේ නායක, මා ඕ සේතුං වරක් ප්‍රකාශ කර තිබෙනවා, ”අපි ගැටලු විසඳන්නේ ටිකෙන් ටික, ක්‍රමයෙන් ක්‍රමයටයි. අපි කෑම කන්නේත් එහෙමයි” කියලා. සතුරන් ජනතාව තුළ හදන බොරු මත පරාජය කරමින්, මේ සත්‍යය අපි තහවුරු කරන්න ඕනෑ. ඉදිරි අවුරුදු තුන තුළ අපි උපරිමයෙන් වැඩ කර ඊ ළඟට මොන මැතිවරණය ආවත්, ජාතික ජන බලවේගය ඉහළින්ම ජයග්‍රහණය කරවන්න ඕනෑ. ඒ තුළින් මේ රට වෙනස් කිරීමේ වගකීම අත්නොහැර ඉදිරියට යන්න ඕනෑ.
අමාරු තත්වයන් තුළ බින්දුවෙන් පටන්ගෙන අපි පක්ෂයක් හැදුවා. අපේ ආරම්භකයන් කිසි කෙනෙක් ප්‍රසිද්ධ පුද්ගලයන් නොවෙයි. රෝහණ සහෝදරයා ගැන කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. දෙවරක්ම පක්ෂය විනාශ කළාම කලින්ට වඩා ශක්තිමත්ව නැවත ගොඩනැඟුවා. අසූනවයේ දී අපේ ආදරණීයම, අපේ ගුරුවරුන් වූත්, නායකයන් එක්කම විනාශ කළා. එදා හිටපු ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න කීවේ “මැච් එක ඉවරයි” කියලා. ඊට පස්සේ බින්දුවෙන් පටන්ගෙන අවුරුදු තිස්පහකට පසු ජනතාවගේ සාතිශය බහුතරයේ කැමැත්තෙන් තුනෙන් දෙකකට වැඩි බලයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කරන්න හැකි වුණා. ඒ කාලය තුළ පක්ෂයේ කල්ලි, කණ්ඩායම් කඩාගෙන යද්දී, අවලාද නඟද්දී, මැතිවරණ පෙරමුණේ දැඩි පසුබෑම් සිදු වෙද්දී, සියලු අමාරුකම් දරාගෙන විශ්වාසයෙන් අපි වැඩ කළා. කළ හැකි දේවල් පමණක් නොවෙයි, බැරි දේවල් පවා කළ හැකියි කියලා භාවිතයෙන් ඔප්පු කළ දේශපාලන ව්‍යාපාරයක් අපි.
කියුබානු විප්ලවයේ දී ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා කියා තිබුණේ “හැකි නම්, කරමු. නොහැකි නම්, කෙසේ හෝ කරමු” කියලයි. අපි හැමදාමත් වැඩ කළේ ඒ අනුවයි. ගල් පර්වත වුණත්, අස්වැද්දිය හැකි මිනිසුන් මේ ව්‍යාපාරයේ ඉන්න බව අපි ඔප්පු කළා. ඒ ධෛර්යය, ශක්තිය ලබා ගත්තේ අපේ මිය ගිය සහෝදර, සහෝදරියන්ගෙන්. අපි හැමදාමත් මොනම දුෂ්කරතා මැද්දේ වුවත්, සුභවාදී මිනිසුන් හැටියට වැඩ කළා. කාල් මාක්ස් කීවේ, “ඉතිහාසය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ එයට විසැඳිය හැකි ගැටලු පමණි” කියලා. එහෙත්, එවැනි ගැටලු විසඳන්නේ නව ගැටලු මතු කරමින්.
ජීවිතය කියන්නේ ගැටලුවලට උත්තර සෙවීමම තමයි. මක්සිම් ගෝර්කිත් එක් අවස්ථාවක දී කීවේ, කැළය කොතරම් විශාල වුවත්, අවසානයක් තියෙනවා” කියලයි. ගැටලුවලට හරියට මුහුණ දී, කළබල නොවී ඉවසීමෙන්, දරා ගනිමින්, නිවැරැදිව කටයුතු කර හැම ගැටලුවක්ම විසඳගෙන ජයග්‍රහණ ගෙන ඒමයි, අපේ වගකීම. ඉල් මහේ විරුවන් මිය යන මොහොතේ ඔවුන්ගේ හදවතේ ප්‍රාර්ථනාවක් තිබුණා. රෝහණ සහෝදරයා බොහොම කාලයකට ඉස්සර ඒ බව කියා තිබුණේ, “අප මරා දැමුව ද, අප නැඟූ හඬ සදා නොමියනු ඇත” කියලයි. එය අද ඔප්පු වී තිබෙනවා. අපේ නායකයන් මරා දමා තිබිය දීත්, අදහස් මරා දමන්න බැරි වුණා. මිනිසුන් ඒ අදහස් වැළඳ ගනිමින්, මහා බලයක් බවට පත් කර ජයග්‍රහණය දක්වා ගෙනැවිත්, ඔප්පු කර තිබෙනවා.
නිවැරැදි අදහස් එක්ක සටන් කරමින්, ඉදිරියට යමු. අපට අපේ ජීවිත තුළින් ලබා දිය හැකි කැප කිරීම් ලබා දී මේ සමාජය වඩා යහපත් සමාජයක් බවට පරිවර්තනය කර සතුටින් මිය යන මිනිසුන් බවට හැම දෙනාම පත්වෙමු. හැමදාමත් වාගේ අපේ විරු සහෝදරයෙක් ලියා තිබූ කවියකින් සමුගන්නවා.
“ගමන යන මඟ තිබේ හෙළි වී – අදිරදේ මර ගී ගැයෙද්දී
සටන මොට කොට නවත්වන්නට – ඇතැම් අය මඟ අහුරවද්දී
ගැයෙන නිවහල් ගීතිකාවෙන් – සහස් දන කැළ පිබිද එද්දී
බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන් – සොයුර අපි යමු පෙරට ඇද්දී”
බුරන බල්ලන්ට බුරන්න කියලා බාධා කරනවුන්ට බාධා කරන්න කියලා අපි හැමෝම එකට අත්වැල් බැඳගෙන ධෛර්යය, අධිෂ්ඨානය, ශක්තිය සහ විශ්වාසය පොදි බැඳගෙන අපේ පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ආවා වාගේම රට දිනවන සටනත් අපේ කැප කිරීම්වලින් දිනනවා. රට ගොඩනඟන සටනත් අපි ජයග්‍රහණය කරනවා. ඒ වෙනුවෙන් පසුනොබැස වැඩ කරනවා. අපි කිසි දිනක අඩියක්වත් පස්සට නොතියා, වගකීම් අත්නොහැර හැම දෙනාම හොඳ මිනිසුන් හැටියට කැප කිරීම් කර මේ සමාජය වෙනස් කරනවා කියන අධිෂ්ඨානය සහිතව වැඩ කරමු; ගමින් ගමට යමු; ජනතාව දැනුම්වත් කරමු; අලුත් සමාජය අපේ දෑත්වලින් නිර්මාණය කරමු. ඒ සඳහා හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, විශ්වාසය ලැබේවා ! ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා ! ජාතික ජන බලවේගයට ජයවේවා !”


























