නකල්ස් රක්ෂිතයේ ගල්ගුහාවක පාසල් දැරියක් රඳවා තබා ගැනීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ වීරත්වයට නංවමින් රොමාන්තීකරණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළද, පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එය ඉතා බරපතල ළමා අපයෝජන අපරාධයක් බවයි.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති තිස් ගණනක සහ විසි ගණනක වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා ඥාතීන් වන අතර ඔවුන් මාමා සහ බෑණා බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
අධිකරණයට ඉදිරිපත් කර ඇති බී 1571/2026 සහ බී 2292/2026 යන නඩු වාර්තාවලට අනුව, නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ස්ත්‍රී දූෂණය යන චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ.
පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ 2023 වසරේදී මෙම දැරිය 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී, 2023 ඔක්තෝබර් මාසයේදී මාමා විසින්ද, දෙසැම්බර් මාසයේදී බෑණා විසින්ද පළමු වරට ඇයව දූෂණය කර ඇති බවයි. ඉන් අනතුරුව 2026 ජූලි මාසයේදී ඇය නිවසින් රැගෙන යන තෙක්ම මොවුන් දෙදෙනා අතින් ඇය වරින් වර අපයෝජනයට ලක්ව තිබේ.
එමෙන්ම, 2026 අගෝස්තු මාසයේදී ඇය දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසුව පවා, පොලිස් අත්අඩංගුවට පත්වන තුරුම මෙම සැකකරුවන් දෙදෙනා විසින් ඇයව දිගින් දිගටම අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. මෙවැනි බරපතල අපරාධයක් කවි, නිර්මාණ සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සාධාරණීකරණය කිරීම හෝ ආදර කතාවක් ලෙස හුවා දැක්වීම සමාජයේ පවතින බරපතල පිරිහීමක් පෙන්නුම් කරන්නකි.










