කොළඹ සිට මොනරාගලට කුරියර් සේවාවකින් ගෙනා මත් ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට…

කොළඹ සිට මොනරාගලට කුරියර් සේවාවකින් ගෙනා මත් ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට…

කොළඹ ප්‍රදේශයේ සිට කුරියර් සේවාවක් හරහා මොනරාගලට ප්‍රවාහනය කරන ලද රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් කුෂ්, හෂීස් සහ මත් පෙති තොගයක් සමඟ 56 හැවිරිදි කාන්තාවක් මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල පොලිස් වසමට අයත් දුටුගැමුණු පාර ප්‍රදේශයේ නිවසක මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එම ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ නිවස පරීක්ෂා කිරීමේ දී, එහි ගමන් මල්ලක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කුෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක්, හෂීස් ග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සහ පිල් මත් පෙති 40කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම මත් ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රදේශයේ සිට භාණ්ඩ ප්‍රවාහන (කුරියර්) සේවා ආයතනයක් හරහා අදාළ නිවසට ගෙන්වා ඇති බවයි. මෙම ජාවාරම දිගුකල් පවතින එකක්ද යන්න සහ මෙහි පසුපස සිටින ප්‍රධාන ජාවාරම් කරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (16) දින මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්