යාපනයේ දුරගමන් සේවා සඳහා දෙසැම්බර් 01 සිට නව බස් පර්යන්තයක්

යාපනයේ දුරගමන් සේවා සඳහා දෙසැම්බර් 01 සිට නව බස් පර්යන්තයක්

යාපනයේ පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීමේ අරමුණින් කිලෝමීටර් 100 ඉක්මවන දුරක ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම අන්තර් පළාත් දුරගමන් බස් රථ 2026 දෙසැම්බර් 01 වැනිදා සිට යාපනයේ නව දුරගමන් බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන්ගේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්නගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 13 වැනිදා පැවති විශේෂ සම්බන්ධීකරණ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා 60:40 අනුපාතය මත ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරීමටත්, සියලුම වායුසමනය කළ බස් රථද එම කාලසටහනට ඇතුළත් කිරීමටත් එකඟ වී තිබේ. දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් නොවැම්බර් 20 වැනිදාට පෙර නව කාලසටහන සකස් කර අවසන් කිරීමට නියමිතය.

නව පර්යන්තය තුළින් දුරකථන මාර්ගයෙන් ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් සැලසීමටත්, ඒ සඳහා ශ්‍රී ලංගමයට වෙනම කාර්යාල පහසුකම් ලබාදීමටත් තීරණය කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංගම සහ පෞද්ගලික දුරගමන් බස් රථ GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරමින් විධිමත් නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමු වී තිබේ.

නිසි මාර්ග බලපත්‍ර නොමැතිව ක්‍රියාත්මක වන බස් සේවා සහ ‘Staff Transport’ නමින් පවත්වාගෙන යන සේවාවන් නියාමනය කිරීමේ වගකීම උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත පැවරීමටද එකඟ වී ඇති අතර එවැනි නීතිවිරෝධී සේවාවන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමටද තීරණය කර ඇත.

තවද, පේදුරුතුඩුවේ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික දුරගමන් බස් රථ යාපනය නගරයට ඇතුළු නොවී කොඩිකාමම් හරහා ධාවනය කිරීමටත්, යාපනය දුරගමන් බස් පර්යන්තයට ඇතුළත් නොවන බස් රථ මඟින් ඒ ආසන්න ප්‍රදේශවල මගීන් නංවා ගැනීම වැළැක්වීමටත් එකඟ වී තිබේ.

නව ක්‍රමවේදය ආරම්භ කිරීමට පෙර පොලිසිය සහ අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් මගී ජනතාව දැනුවත් කිරීමටත්, නව පර්යන්තයේ ආරක්ෂාව සහ විධිමත් මෙහෙයුම් තහවුරු කිරීමටත් පියවර ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්