රවී කරුණානායක අල්ලස් කොමිසම මගහරියි…

රවී කරුණානායක අල්ලස් කොමිසම මගහරියි…

හිටපු ඇමති රවී කරුණානායක දිගින් දිගටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මග හරිමින් සිටන බව වාර්තා වේ.

ඔහුට මේ වනවිට අවස්ථා තුනකදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතත් ඔහු ඒ කිසිම අවස්ථාවක එහි පැමිණ නැත.

ඔහු එලෙස කැඳවා තිබී ඇත්තේ, ජාතික ලොතරැයි මණ්ඩලයට අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව නිලධාරීන් පස් දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කිරීමේ විමර්ශනයකට අදාළවය.

හිටපු ඇමති රවී කරුණානායකට පසුගිය ජූලි 16 වැනිදා පළමු වරට අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර ඒ අවස්ථාවේ ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේ නැත.

ඉන් අනතුරුව පසුගිය ජූලි 30 වැනිදා යළි ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබී ඇති නමුත් එම අවස්ථාවේදී සිය දියණියගේ විවාහ මංගල්‍ය ඇති බව පවසමින් හිටපු ඇමති රවී කරුණානායක කොමිසම හමුවේ පෙනී සිටීම මඟ හැර ඇත.

ඉන් පසු, හිටපු ඇමති රවී කරුණානායකට ඊයේ (28) දිනයේද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතත් සිය නීතිඥවරයාට එදින පැමිණීමට නොහැකි බව දන්වා ඔහු එම කොමිසම හමුවට පැමිණීම මග හැර තිබේ.

ඉන් පසු ඔහුට යළි අද (29) දිනයේද කොමිසම හමුවේ පෙනී සිටින පෙස දන්වා ඇති අතර අද දිනයේද ඔහු කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් ඔහුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අල්ලස් කොමිසම පවසයි.

මෙම සිදුවීමට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශර්මිලා පෙරේරා අත්අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය ජුනි මස 30 වැනිදා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්