වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 06කට ආසන්න මුදලක් ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ ආච්චිට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි අද (31) තීරණය කර තිබේ.
ඒ, පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවය.
2009 මාර්තු 31 වැනිදාත් 2013 දෙසැම්බර් 12 වැනිදාත් අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රුපියල් ලක්‍ෂ 590කට අධික මුදලක් යොදවා පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ සඳහන් වැරදි කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපති විසින් අධි චෝදනා නඟා ඇත.
වසර 04ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතීපති විසින් මෙම නඩු පවරා ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු දක්වමින් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා ඇත.
නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය එදින දැනුම් දීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිචෝදනා පත්‍රයේ සිදු කිරීමට බලාපොරෙත්තු වන සංශෝධනයන්ද එදින දැනුම් දීමට කටයුතු කරන බවද දැනුම් දී තිබේ.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට තීරණය කළ විනිසුරු රශ්මි සිංගප්පුලි නඩුව සැප්තැම්බර් 28 වැනිදා යළි කැඳවීමටද නියම කර ඇත.










