වෙනිසියුලාවේ තෙල් සම්පත ඇමරිකාව සමග හවුලේ බෙදා ගනී !

වෙනිසියුලාවේ තෙල් සම්පත ඇමරිකාව සමග හවුලේ බෙදා ගනී !

තෙල් බැරල් බිලියන 303ක වටිනාකමක් සහිත ලොව විශාලතම තෙල් ගවේෂණ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වෙනිසියුලානු අන්තර්කාලීන ජනාධිපති Delcy Rodríguez මාධ්‍ය වෙත අගෝස්තු 30 වනදා පවසා සිටියේ තෙල්වල හිමිකම හා ස්වෛරීභාවය තවමත් අයත් වනුයේ තම රටට බවයි. එසේම අදාළ ගිවිසුම මගින් රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් හා රැකියා දහස් ගණනක් උත්පාදනය කිරීමට ඉවහල් වන බවයි. ලොව විශාලතම තෙල් හා ගෑස් සංචිත හිමි වෙනිසුවේලාව අතීතයේ දිනකට බැරල් මිලියන තුනක් වූ තෙල් නිෂ්පාදනය පසුව ඇමරිකානු සම්බාධකද හේතුවෙන් වර්තමානයේ දිනකට බැරල් මිලියන 1.2ක් දක්වා පහත වැටී තිබේ.

ඒ අනුව ට්‍රම්ප්-ඩෙල්සි නව ගිවිසුම මගින් ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථාන 17ක් තුළ මෙම කැනීම් කටයුතු සිදු කිරීම සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 100ක් ආයෝජනය කරනු ලබන අතර වෙනේසුවෙලාවට එයින් ඩොලර් බිලියන 209ක ලාභයක් හිමි වීමට ද නියමිතව ඇත.

කෙසේ වෙතත් සිකුරාදා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ එක්සත් ජනපදය වෙනිසියුලාවේ සංචිතවලින් තෙල් බැරල් බිලියන 65 ක් ඇමරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය ඔහු හැඳින් වූයේ “ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව” ලෙසය. නමුත් එක්සත් ජනපද හමුදාව විසින් නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් ආසන්න වශයෙන් මාස නවයකට පසු, එක්සත් ජනපදය සමඟ ඇති කරගත් ගිවිසුම යටතේ වෙනිසියුලාව තවදුරටත් එහි තෙල් පාලනය රඳවා ගන්නා බවට අන්තර්කාලීන ජනාධිපති Delcy Rodríguez දිගින් දිගටම ප්‍රකාශ කලේ විපක්ෂය හා බටහිර මාධ්‍ය වලට චෝදනා වලට පිළිතුරු ලෙසිනි.

“එක් දෙයක් සෑම දෙනාම පැහැදිලි කර ගත යුතුයි. වෙනිසියුලාව එහි ආර්ථික සම්පත් වල අයිතිය සහ ස්වෛරීභාවය දිගටම රඳවා ගනු ලබයි. ජාතික සංවර්ධනය, රැකියා උත්පාදනය, බල ශක්ති කේෂ්ත්‍රයේ සේවකයින්ගේ ආදායම වැඩි කිරීම සහ අවසානයේ සමස්ථ අපගේ ජනතාවගේ යහපැවැත්ම සඳහා තෙල් වලින් ලැබෙන ආදායම සාධාරණව බෙදී යනු ඇත. Chevron, Repsol et Shell වැනි පෞද්ගලික බහුජාතික සමාගම් සමඟ නව ගිවිසුම් අත්සන් කිරීම ද මෙහි එක අරමුණක්” යයි ගිවිසුම සම්බන්ධයෙන් වෙනේසුවෙලානු වැඩ බලන ජනාධිපතිනි Delcy Rodríguez යලි යලිත් ප්‍රකාශ කර සිටියාය.

කෙසේ වෙතත් වෙනිසියුලාවේ බල ශක්ති කේෂ්ත්‍රයේ ආයෝජන ඇතුළත් ගිවිසුම වටා ඇති විස්තර නොමැතිකම හේතුවෙන් ඇතැම් බටහිර මාධ්‍ය ඇමරිකාව වෙනිසුවෙලාවේ තෙල් නිධිය අත්පත් කර ගැනීමෙන් වොෂින්ටනයට බෙහෙවින් වාසිදායක බවට බොහෝ කටකතා හා සැක සහිත කාරනා මතු කර සිටි. එසේම ඇමරිකාවේ EXXONMOBIL වෙනිසුවෙලාවේ හිටපු තෙල් සමාගම පවසන්නේ යම් විදිහකින් අනාගත වෙනසුවෙලානු රජයක් යලි තෙල් නිධි ජනසතු කරනු ලැබුව හොත් ඔවුන්ට නැවතත් කිසිදු වන්දියක් නොමැති ව අතීතයේ මෙන් ආපසු හැරී ඒමට සිදුවනු ඇති බැවින් යලිත් වරක් ආරක්ෂාවක් හා වගකීමක් නොමැති ආයෝජන සඳහා ඉදිරිපත් වීමට තම සමාගම මැලිකමක් දක්වන බවයි. එහෙත් නව ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අදාළ සමාගම ප්‍රතික්‍ෂේප කර තිබේ.

නමුත් අත්සන් කරන ලද ගිවිසුම ආරක්ෂා කරමින් Delcy Rodriguez පවසා සිටින්නේ මෙවැනි කාරණයකි.

“සම්බාධක මගින් දැඩි ලෙස බලපෑමට ලක් වූ උපායමාර්ගික වැදගත් කර්මාන්තයක් වූ තෙල් බලාගාර යලි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රාග්ධනය, තාක්‍ෂණය, යටි තල පහසුකම් සහ මෙහෙයුම් ධාරිතාවයෙන්” රටට ප්‍රතිලාභ ලබා ගැනීමට මෙම ගිවිසුම මගින් ඉඩ සැලසෙනවා. අපගේ අතීත ගැටුම් සහගත තත්වය පුළුල් සහයෝගීතාවයක් බවට පරිවර්තනය කිරීම සඳහා අපි ඇමරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මාවත තෝරා ගත්තේ එබැවිනි. මෙම සහයෝගීතාවය ආයෝජනය, නිෂ්පාදනය, යහපැවැත්ම සහ වෙනිසියුලානු ජාතිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය ඇතුළු සුබ සාධන සඳහා අනාගතයේදී ලබා දෙනු ඇත,” යයි ඇය අවධාරණය කළාය.

වසර 25ක කාලයක් සඳහා අත්සන් කරන ලද වෙනිසියුලාව හා ඇමරිකාව අතර ගිවිසුම ඩොලර් බිලියන 209 ක ආදායමක් උපයා ගනු ලබන අතර 16% ක ලාභයක් සහ 34% ක ආදායම් බදු ප්‍රමාණයක් රටට ලැබෙන බව Delcy Rodríguez සඳහන් කළාය.

“සංක්ෂිප්තව කිවහොත්, මෙයින් අදහස් කරන්නේ තෙල් නිෂ්පාදනය මගින් විකුණන සෑම බැරලයක් සඳහාම ඩොලර් 19 කට ආසන්න ප්‍රමාණයක් අපේ රටට කෙලින්ම ලැබිමට නියමිතයි, වෙනේසුවෙලාව බල ශක්ති බලාගාරයක් හා ලොව ප්‍රධාන තෙල් නිෂ්පාදකයෙකු බවටත් අපගේ තෙල් සම්පත මගින් සැලකිය යුතු ගෑස් අපනයනකරුවෙකු වීමට සහ අපගේ දේශීය ඛනිජ -රසායනික කර්මාන්තය මහා පරිමාණයෙන් සංවර්ධනය කිරීමට මෙම ගිවිසුම මගින් හැකි වනු ඇති” යයි ඇය තවදුරටත් පැවසුවාය.

මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර තෙල් ගිවිසුමක් අත්සන් කල බවත්, එමඟින් වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් පහෙන් එකක් වොෂින්ටනය විසින් පාලනය කරනු ඇති බවත්, පුද්ගලික සමාගම් සමඟ හවුල්කාරිත්වයක් හරහා වෙනිසියුලානු සංචිතවලින් තෙල් බැරල් බිලියන 65 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා බහුතර පාලනය එක්සත් ජනපදය විසින් ලබාගෙන ඇති බවත්ය.

“ඉරාන යුද්ධය ඇතුළු මැදපෙරදිග අර්බුධය හේතුවෙන් ගෝලීය වෙළඳ පලට යැවෙන තෙල් සැපයුම්වල බාධා සහ ඉහළ යන ඉන්ධන මිල ගණන් වලට මුහුණ දීම සඳහාත්, මෑත වසරවලදී තියුනු ලෙස පහත වැටී ඇති එක්සත් ජනපදයේ උපායමාර්ගික තෙල් සංචිත නැවත පිරවීම සඳහා මෙම ගිවිසුම සේවය කරනු ඇත. තම සංචිත පිරවීමේ ක්‍රියාවලිය ඉක්මනින් ආරම්භ වන බවත්, වෙනිසියුලානු තෙල් “වෙනිසියුලාවේ සිට එක්සත් ජනපදයේ ජනතාවට ලැබෙන කදිම තෑග්ගක්” යයි ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා සිටි.

ට්‍රම්ප්-වෙනිසුවෙලා ගිවිසුම සම්බන්ධයෙන් FINANCIAL TIMES පුවත් පත සඳහන් කරනුයේ මෙම ගිවිසුම කරලියට එනුයේ ට්‍රම්ප් පරිපාලනය නොවැම්බර් මැද වාරයේ පැවැත්වෙන මැතිවරණයට ආසන්නව, කොංග්‍රසයේ පාලනය මගින් තීරණය කරන එරට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යාමත් සමඟ වර්ධනය වන ඇමරිකානු ජනතාවගේ කලකිරීමට” මුහුණ දීම සඳහා බවය.
CNN මාධ්‍ය ජාලය පවසන්නේ ද එක්සත් ජනපද රජය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාවය හරහා, වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 කට වඩා වැඩි බහුතරයක් එක්සත් ජනපදයේ බහුතරයක් පාලනය කරන බව පැවසුවත් “ඇමරිකානු බදු ගෙවන්නාට කිසිදු ලාභයක් මෙමගින් නොලැබෙන බවත්ය.

මේරිලන්ඩ්හි ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභික ක්‍රිස් වැන් හොලන්, පවසන්නේ ට්‍රම්ප් ඔහුගේ ප්‍රකෝටිපති මිතුරන් සතුටු කිරීම සඳහා වෙනිසියුලානු තෙල් ලබා ගැනීම වෙනුවෙන් ඇමරිකානු හමුදාව අනතුරේ හෙළන” බවය. එසේම ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉරාන- මැදපෙරදිග අර්බුධය දඩ මීමා කර ගනිමින් තම තෙල් සංචිත හා ෂෙල් ගෑස් විකුණා විශාල මුදලක් සොයා ගැනීමට ඇමරිකානු තෙල් සමාගම් පසුගිය කාලයේ සමත් වූ බවත් මෙම ගිවිසුම මගින් තම තෙල් සංචිත යලි පුරවා ගැනීමට ට්‍රම්ප් අපේක්ෂා කරනු ලබන බවත්ය.

කෙසේ වෙතත්, ධවල මන්දිර නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් CNN මාධ්‍ය ජාලය තව දුරටත් හෙළි කර සිටින්නේ එක්සත් ජනපදයේ තෙල් සංචිත වල ධාරිතාව අනුව ලෝකයේ දෙවන විශාලතම පුද්ගලික තෙල් සමාගම බවට පත්වන මෙම “නව පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයේ” සැබෑ නිෂ්පාදනයෙන් 55%” ක් ඇමරිකාවට ලබා දෙන යෝජනා ක්‍රමයක් ට්‍රම්ප්-ඩෙල්සි ගිවිසුම තුල අඩංගු බවයි. ඇමරිකානු සහාය ඇතිව, අන්තර්වාර ජනාධිපතිනි Delcy Rodríguez විසින් අදාළ ක්ෂේත්‍ර සඳහා ඇමරිකානු රාජ්‍ය- පෞද්ගලික සමාගමකට වසර 25ක් සඳහා නොව වසර 100 ක කාලයක සඳහා බදු දීමක් ගිවිසුම ඔස්සේ ලබා දුන් බව හෙළි කර සිටි.

CNN උපුටා දක්වන ලද ඇමරිකානු නිලධාරියාට අනුව, එක්සත් ජනපද රජය “මෙම නව තෙල් යෝධයාගේ වටිනාකමෙන් අඩකට වඩා”එනම් 50%ක් ලබා ගත්තේ, කොටස් වෙළඳ පල සහභාගීත්වය සහ නිෂ්පාදනය කරන ලද තෙල් කොටසකට සහතික කළ අයිතිවාසිකම්, පිරිවැය හා මිල නියම කිරීමට බලය ද ලබා ගනිමිනි. ඒ අනුව මෙම නිෂ්පාදනයේ කොටසක් එක්සත් ජනපද උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතය නැවත පිරවීම සහ එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කර ගෙන ඇත. මෙය ඉතා අසාමාන්‍ය “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක්” ලෙස CNN වාර්තාව විස්තර කරන අතර අදාළ ගිවිසුම එක්සත් ජනපද උපායමාර්ගික සංචිතයට සමීපව සම්බන්ධ ආයතන විසින් අධීක්ෂණය කරනු ලබන බව ද වාර්තා වේ.

CNN මාධ්‍ය ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ “විදේශීය තෙල් ක්ෂේත්‍රවල එක්සත් ජනපද රජයේ සෘජු සහභාගීත්වය” අතිශයින් අසාමාන්‍ය බවත් එක්සත් ජනපදය ඍජුවම මෙම ක්ෂේත්‍රවල ප්‍රධාන ආර්ථික ආයෝජකයෙකු බවට පත් වීම ද අසාමාන්‍ය බවයි. ධවල මන්දිර නිලධාරියාට අනුව, මෙම නව ඇමරිකානු සමාගම සෞදි ඇරම්කෝ සමාගමට පසුව ඩොලර් සංචිත වත්කම් ඇති ලොව දෙවන විශාලතම හිමිකරු බවට පත් වීමට නියමිතය.

මේ අතර වෙනිසුවෙලානු විපක්ෂය අදාළ ගිවිසුමේ අත්සන් කර ඇත්තේ විනිවිද භාවයකින් තොරව බව පවසා සිටින අතර එහි රහසිගත ලේඛණ රටට හෙළි කරන ලෙස Delcy Rodríguez රජයට බල කර සිටි. එහෙත් ඇමරිකානු හමුදා විසින් පහර ගෙන යන ලද වෙනිසුවෙලානු ජනාධිපති නිකොලා මදුරෝ ගේ පුතා හා වෙනිසුවෙලානු පාර්ලිමේන්තු මන්ත්‍රී Nicolás Maduro Guerra මෙම ගිවිසුම අත්සන් කිරීමට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙන්ම රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝට සහ ඇමරිකානු රජයට අවංකවම ස්තූතිය පල කළේ තම පියා සුප්‍රකට මාධ්‍ය වේදී Ignacio Ramonet සමග 2025 දෙසැම්බර් 31 දින සිදු කල අවසන් සම්මුඛ සාකච්චාව තුලින් මෙම ගිවිසුම සඳහා සහය ලබා දුන් බවට ද අවධාරණය කරමිනි.

නිකොලා මදුරෝ එම සාකච්චාවේදී මෙසේ පවසා සිටියේය.

“රාජ්‍යයන් දෙක අතර හමුදා ගැටුමට අමතරව, අපට ඕනෑම දෙයක් කළ හැකිය. අපි කොන්දේසි අතැතිව ගැඹුරු සාකච්ඡා ආරම්භ කළ යුතුයි. එක්සත් ජනපද රජය මෙය දනී. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා ගිවිසුමක් බැරෑරුම් ලෙස සාකච්ඡා කිරීමට කැමති නම්, අපි සූදානම්. ඔබට තෙල් අවශ්‍ය නම්, වෙනිසියුලාව ඇමරිකානු Chevron සමඟ අත්සන් කර ඇති ආයෝජන මෙන් අනෙකුත් ඇමරිකානු ආයෝජන ආයතන සඳහා ද අපේ තෙල් සම්පත් විවෘත කිරීමට අප සූදානම්. ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක, ඔබට අවශ්‍ය ඕනෑම තැනක, සහ ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකින් සාකච්චා සඳහා අප සුදානම්. ඔබට පුළුල් ආර්ථික සංවර්ධන ගිවිසුම් අවශ්‍ය නම්, වෙනිසියුලාවේ, අපිත් සූදානම්. නමුත් ඇමරිකානු පාලනය තේරුම් ගත යුතුයි, දකුණේ අපේ ජනතාවට ස්වාධීන හා නිදහස් පැවැත්මක්, ජීවත් වීමට අයිතියක් ඇති බව. එමෙන්ම ඇමරිකානු මහජනතාව ද තේරුම් ගත යුතුයි මොන්රෝ මූලධර්මය හෝ වෙනත් ඕනෑම මූලධර්මයක් සමඟ එන නව යටත් විජිත ආකෘතියක් පැනවීම කිසිසේත් අපට පිළිගත නොහැකි බව. අවසාන වශයෙන් කිව හොත් දකුණේ රටවල් කවර හෝ විදේශ බලයක යටත් විජිත සහ නව ස්වාමිවරුන්ගේ වහලුන් බවට පත් විය යුතු ආකෘතියක් තුල තවදුරටත් ජීවත් වීමට සුදානම් නොමැති බව ඇමරිකානු බලධාරීන් හා එරට ජනතාව අවබෝධ කර ගත යුතුයි.

මෙම දේශපාලන තර්කයට සමගාමීව, Nicolás Maduro Guerra අගෝස්තු 30 වනදා බෘක්ලින්හි සිට තම පියාගේ පළමු සිරගත ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළ අතර වෙනිසුවෙලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ නඩු විභාගය 2027 ජුනි 1 වන දින ඇමරිකානු අධිකරණය ඉදිරියේ ආරම්හ වීමට නියමිතව ඇත.

Facebook
Twitter
LinkedIn