කැලණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාට බලංගොඩ පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවේ කැණීම් සඳහා බලපත්‍රයක් ලබාගැනීමට ඒ මහතා සිදුකළ ඉල්ලීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙරට ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමට විශිෂ්ට දායකත්වයක් සැපයූ ජේෂ්ඨ මාහාචාර්ය රාජ් සෝමදේව මහතා හට මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් බලපත්‍ර 8ක් නිකුත් කර තිබේ. එහෙත් ඔහුට මෙවර බාදාහේන ගල්ගුහාවේ කැණීම් සිදුකිරීම සඳහා බලපත්‍රය ලබාදීම පුරාවිද්‍යා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පි.බි.මණ්ඩාවල මහතාගෙන් විමසන අවස්ථාවේ ඔහු සදහන් කළේ නව කැණීම් බලපත්‍රක් ලබාගැනීම සදහා විද්‍යාත්මක වාර්තාවක් සහ කැණීම්වලින් සොයාගන්නා ලද පුරාවස්තු දෙපාර්තමේන්තුව වෙත නැවත ලබාදීමක් සිදුකළ යුතු බවයි. රාජ් සෝමදේව මහතා මේ වන තුරු අදාළ වාර්තා සහ කැණීම්වලින් ලබාගත් පුරාවස්තු ලබාදී නොමැති අතර ඒ හේතුවෙන් ඔහුට නව බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බව මණ්ඩාවල මහතා පැවසීය.
සෝමදේව මහතාට අමතරව කැණීම් කටයුතුවල නිරත වන පුරාවිද්‍යාඥයින් විසි තුන්දෙනෙකුට නව බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට අත්හිටුවා ඇති බව ඔහු පැවසුවේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රෙගුලාසීවලට අනුකූලව කටයුතු සිදුනොකරන්නේ නම් ඔවුන්ට නව බලපත්‍රයක් නිකුත්කළ නොහැකි බව මණ්ඩාවල මහතා වැඩිදුරටත් සදහන් කළේය.
කෙසේ නමුත් කැණීම් කටයුත්තකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙන බලපත්‍ර ලබාගැනීම සදහා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට අවශ්‍ය සියලු කොන්දේසී තමා විසින් සපුරා තිබියදී දෙපාර්තමේන්තුව සිය ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා සදහන් කරයි.
කෙසේවෙතත් මේ දක්වා තමන් විසින් සිදුකරනු ලැබු සියලුම කැණීම්වල විද්‍යාතමක වාර්තාවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවය මහාචාර්ය රාජ් සෝමදේව මහතා සදහන් කළේය. එම ස්ථානවලින් සොයාගත් පුරාවස්තු, දෙපාර්තමේන්තුවට ලබාදීමට ගිය අවස්ථාවේ ඒවා භාරගැනීම දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රතික්ෂේප කළ අතර ඕනෑම අවස්ථාවක එම පුරාවස්තු භාරදිමට තමාට හැකියාව පවතින බව ඔහු කියා සිටියේය.
බුලත්සිංහල, පාහියන්ගල ලෙන, කිතුල්ගල බෙලිලෙන, ඉබ්බන්කටුව ලෙන, කූරගල වැනි ස්ථාන රැසක කැණීම් සිදුකරමින් මෙරට ඉතිහාසය පිළිබඳව කරුණු ලොවට අනාවරණය කිරිමට රාජ් සෝමදේව මහතා කටයුතු කරනු ලැබුවාය. දශක කිහිපයක් පුරා සිය පුරාවිද්ද්‍යාවට කැණීම්වලින් ඉමහත් සේවයක් සිදුකළ රාජ් සෝමදේව මහතාට මෙවැනි බාධාවන් සිදුකිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මානයවී ඇත. ඉතිහාසය පිළිබද සුවිශේෂී කරුණු අනාවරණය කරගැනීමට ප්‍රයත්න දරන මෙවැනි පුරාවිද්‍යාඥයින්ට ඔවුන්ගේ රාජකාරී කටයුතුවලට සහය ලබාදීම සියලු පාර්ශවයන්ගේ වගකීම බව විද්වතුන් මෙන්ම සමාජයේ බොහෝ දෙනාගේ අදහසවී තිබේ.










