ගල්විල වන උද්‍යානයත් වනසති… වසර සිය ගණනක් පැරණි ගස් කපාදමති… තැන තැන වැලි හාරති…

ගල්විල වන උද්‍යානයත් වනසති… වසර සිය ගණනක් පැරණි ගස් කපාදමති… තැන තැන වැලි හාරති…

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් තබ්බෝව – ගල්විල පාරිසරික උද්‍යානය තුළ වසර 100ක් පැරණි ගස් කැපීම්, වැලි ගොඩදැමීම් ඇතුළු විශාල පාරිසරික හානි රැසක් සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

හෙක්ටයාර් 21ට ආසන්න භුමි ප්‍රමාණයකින් සමන්විත මෙම ගල්විල පාරිසරික උද්‍යනය තුළ දැනට වැව් හාරන මුවාවෙන් ගොවි සංවිධානය ලබා දුන් අවසරය මත කිසිදු ඉවක් බවක් නොමැතිව බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන ස්ථාන ගණනාවක වැලි සහිත පස් ඉවත් කර රැගෙන යන ආකාරයක් දක්නට ලැබේ.

ඒ අතර තුර මෙම පාරිසරික උද්‍යානයේ සංචාරකයින්ට ගමන් කිරීමට කිලෝ මීටර් 80ක පමණ මාර්ග සකස් කරණ මුවාවෙන් දැවැන්ත වන සංහාරයක් කර තිබේ. වසර සිය ගණනාවක් පැරණි කරුවල, වීර, පළු ගස් රැසක් ඉවත් කර විවිධ පුද්ගලයින් විසින් රැගෙන යන බව ලුම්බිණි විහාරයේ විහාරාධිපති පුජ්‍ය මානැවේ පඥ්ඥාරාම හිමියෝ පවසති.

මෙම පාරිසරික උද්‍යානයට ඇතුළු වන විටම වැලි පස් සහිත ලොර් රථ දෙකක් පිටතට පැමිණි අතර, එක් ලොරි රථයක් කිසිවකු නොමැතිව කැලය තුළ සඟවා තිබෙන අයුරුත්, වැලි පස් ලබා ලොරි රථ වලට පටවන බැකෝ යන්ත්‍රය එක් ස්ථානයක කිසිවකු නොමැතිව තබා තිබෙන අයුරුත් දක්නට ලැබුණි.

2017 වර්ෂයේදී විශේෂ ව්‍යපෘතියක් ලෙස විදෙස් මුදල් ආධාර මත ආරම්භ කළ මෙම ගල්විල පාරිසරික උද්‍යානය ඉකුත් කොරෝනා අවදියේම 2020.07.17 වන දින කඩිමුඩියේ ආරම්භ කළ බවත්, මෙය පටන් ගත් කාලයේ සිටම විවිධ අකටයුතුකම් සිදු වූ බවත්, ඒ අවධියේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මේ සම්බන්ධ කටයුතු කළ අය මේ පිළිබදව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත්, දිනෙන් දින මේ උද්‍යානය තුළ සිදුවන පාරිසරික හානිය අද සියසින්ම දැක ගත හැකි වූ බවත් මෙම උද්‍යානයේ ඉදිකිරීමේ සිවිල් ග්‍රාමීය සංවිධානවල අනුශාසක ලෙස කටයතු කරන පුජ්‍ය මානැවේ පඥ්ඥාරාම හිමියෝ වැඩිදුරටත් සදහන් කරති.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn