කුරුණෑගල නගරාධිපති, පෞරාණික ගොඩනැගිල්ල කැඩුවාට අත්අඩංගුවට ගන්නවාද නැද්ද ? තීරණය හෙට

කුරුණෑගල නගරාධිපති, පෞරාණික ගොඩනැගිල්ල කැඩුවාට අත්අඩංගුවට ගන්නවාද නැද්ද ? තීරණය හෙට

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නේද නැද්ද යන්න හෙට (25) තීරණය කරන බව අභියාචනාධිකරණය අද (24) ප්‍රකාශ කර තිබේ.

මෙම තීරණය අද (24) ප්‍රකාශයට පත් කරන බව මීට පෙර මෙම මෙත්සම අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ මෙම තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වීම නිසා එය ප්‍රකාශ කිරීම හෙට පෙරවරු 9.00ට සිදුකරන බවය.

එතෙක් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙස මීට පෙර අභියාචනාධිකරණය විසින් නිකුත් කළ නියෝගය හෙට දින දක්වා බලපැවැත්වෙන බවද විනිසුරු මඩුල්ල අවධාරණය කර ඇත.

කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් අගෝස්තු මස 07 වන දා පොලීසිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත වරෙන්තු ලබාගන්නා ලදී.

එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා නගරාධිපතිවරයා ඇතුළු පිරිස මෙලෙස අභයාචනාධිකරණය හමුවේ පෙත්සම ගොනු කරන තිබේ.

මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගනිමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස් පතිවරයාට සහ කුරුණෑග ස්ථානාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් පසුගිය දා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබී ය. එය ද ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn