උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන මගින් තමන් ඇතුළු බොහොමයක් උපාධිධාරීන්ට අසාධාරණයක් වූවා යැයි පවසමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් තම ගැටළුව සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලා අද (24) රාජ්‍ය පරිපාලන සේවා අමාත්‍යාංශය වෙත පැමිණියහ.
මීට පෙර වෙනත් රැකියාවක නිරතව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු වී සිටීම, පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා තිබීම වැනි කරුණු පදනම් කර ගනිමින් උපාධිධාරීන්ව එම රජයේ රැකියා ලබාදීමේ වැඩසටහනෙන් ඉවත්කර ඇතැයිද මේ සම්බන්ධයෙන් නැවත සලකා බලා සියලු උපාධිධාරීන්ට සහනයක් සලසන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවට එක්වූ සියලු උපාධිධාරීහු රාජ්‍ය පරිපාලන අමාත්යාංශ ලේකම් වෙත අභියාචනාවක් ද ඉදිරිපත් කළහ.
එහිදී උපාධිධාරී ජාතික මධ්යස්ථානයේ නියෝජිතයින් හා රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අතර සාකච්ඡාවක්ද පැවති අතර එහිදී තීරණ කිහිපයකට පැමිණ තිබේ.
01) 2020.08.18 නව නාම ලේකනය නිකුත් කිරීමත් සමඟ අභ්යාසලාභී පත්වීම් ලිපි හිමිව තිබී පසුව නම් ඉවත් වූ සියලු දෙනා හැකි ඉක්මනින් 2020.08.21 රාජ්ය පරිපාලන අමාත්‍යාංශ චක්රලේඛය අනුව අභියාචනා ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දීම.
(i) නම් ඉවත් වූ ඌන සේවා උපාධිධාරීන් දැනට දරණ රාජ්ය සේවයේ තනතුරෙන් ඉවත් නොවී අභියාචනා භාරදීම.
02) සැප්: 02 ආරම්භ කිරීමට නියමිත අභ්යාසලාභී පුහුණුව සැප්. 02 ආරම්භ කළ හැකි බවත් දැනට ඊට අදාළ පත්වීම් ලිපි අත්සන් කර දිස්ත්රික් ලේකම්වරුන් මගින් ප්‍රාදේශීය ලේකම්වරු වෙත පත්වීම් ලිපි යොමු කර තිබීම.
03) ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරීන් වරින් වර විවිධ පිරිස්වලට ලබා දෙන එකඟතා සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවේ බඳවාගැනීම් පටිපාටි හා අයදුම්පත් කැඳවීමේ පුවත්පත් දැන්වීමට අදාළ කොන්දේසි අතර ව්‍යාකූලතාවයන් හා පරස්පරතාවයන් පවතින බව සාකච්ඡාවේදී බලධාරීන් පිළිගත් අතර උපාධිධාරීන් 60,000කට රැකියා ලබාදී අවසන් වනවිට සියලුම රැකියාවිරහිත උපාධිධාරීන්ගේ ගැටළු උපරිමයකට විසඳා ගැනීම සඳහා රාජ්ය පරිපාලන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ බලධාරීන් හා උපාධිධාරී සංගම් ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා වීම.
04) පත්වීම් බලධරයා හා අභියාචනා නිලධාරී ලෙස කටයුතු කරන රාජ්ය පරිපාලන ලේකම්තුමා වෙත උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයට භාරදුන් අභියාචනා සහිත ලිපි ගොණුවක් අද (24) දින භාරදීම.










