ආහාර මිල ඉහළ යාමෙන් බිත්තර මිලත් ඉහළට

ආහාර මිල ඉහළ යාමෙන් බිත්තර මිලත් ඉහළට

සත්ව ආහාර සඳහා සහල් භාවිත කිරීමට පැනවූ තහනම හේතුවෙන් දේශීයව සත්ව ආහාරවල මිල ඉහළ යාම නිසා බිත්තර මිල ඉහළ යාම කෙරෙහි බල පා ඇති බවත් එමෙන්ම කුකුළු ගොවිපොළවල සතුන් ඇති කිරීම ප්‍රමාණාත්මකව අඩු වීම, යුරෝපයෙන්, අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් මව් සතුන් ආනයනය ඇනහිටීම නිසාත් වෙළඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කුළුලු ගොවිපල හිමියෝ පවසති.

වෙළෙඳපොළේ බිත්තරයක සිල්ලර මිල අද (17) වන විට රුපියල් 22ත් රුපියල් 24ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ ඉකුත් මාර්තු මාසයේ මුල වනවිට බිත්තරයක සිල්ලර මිල රුපියල් 18ත් 20ත් අතර මිලක පැවති අතර පසුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 10ක් දක්වා අඩුවිය.

කෙසේවෙතත් බිත්තර මිල අප්‍රේල් මාසයේ රුපියල් 15ක්, මැයි මාසයේදී රුපියල් 17ක්, ජුනි මාසයේ රුපියල් 18ක්, ජුලි මාසයේ රුපියල් 20ක් දක්වා මිල ඉහළ ගිය අතර අද වනවිට රුපියල් 24ක ආසන්නයට අඛණ්ඩ මිල වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25ක් දක්වා ඉහළ නංවා ඇති බවද වාර්තා වේ.

ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 85ක් පමණ වන අතර මේ වනවිට එය 30%කින් පමණ පහළ බැස ඇත.

කෙසේවෙතත් සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමට රජය මැදිහත් වන්නේ නම් බිත්තර මිල අඩු කළ හැකි වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

Facebook
Twitter
LinkedIn