කුරුණෑගල නගරාධිපති, පෞරාණික ගොඩනැගිල්ල කැඩුවාට තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් ඉල්ලයි…

කුරුණෑගල නගරාධිපති, පෞරාණික ගොඩනැගිල්ල කැඩුවාට තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් ඉල්ලයි…

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශය බාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් වැරදි මත සමාජගත කිරීමට පියවර ගත්තේ යැයි ඔහු එම පෙත්සම මගින් කියා සිටී.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ පුද්ගලයෙකු අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇතැයිද ඔහු එම පෙත්සම මගින් චෝදනා කර තිබේ. මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගනිමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස් පතිවරයාට සහ කුරුණෑග ස්ථානාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක් ගොනු කරනු ලැබුවේ මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසිනි.

ඉන් පසු පොලීසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අදාළ විමර්ශනයෙන් පසුව තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් අගෝස්තු මස 7 වන දා වරෙන්තු ලබාගෙන තිබෙන බවත් එම වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය නීතියට පටහැනි බවත් නගරාධිපතිවරයා සිය පෙත්සම මගින් කියා සිටියි.

කඩා ඉවත් කෙරනු බව සඳහන් ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව පෙන්වා දෙන නගරාධිපතිවරයා එම තත්ත්වය යටතේ පුරාවිද්‍යා පනත පදනම් කරගෙන තමා ඇතුළු පිරිසකට එරෙහිව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය මුළුමනින්ම නීතියට පටහැනි බව ද ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් අගෝස්තු මස 7 වනදා නිකුත් කළ වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් කුරුණෑගල නගරාධිපතිවරයා අභියාචනාධිකරණය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn