විදේශගත ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පත්ව ඇති දුෂ්කරතාවයන් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
බිමල් රත්නායක මහතා මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා…
“කොරෝනා වෛරස තත්වය නිසා පීඩාවට පත් ජනතාව අතරේ විශේෂ කොටසක් තමයි විදේශගත ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන්ගේ ඥාතීන්. මේ වනවිට ලෝකය පුරා රටවල කොරෝනා ව්‍යාප්ත වෙමින් පවතින අතර ඇතැම් රටවල් එය පාලනය කිරීමේ අභියෝගයට මුහුණ දෙමින් තිබෙනවා. ලෝකයේ රටවල ලක්‍ෂ 30කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජීවත් වෙනවා. ඔවුන් පීඩාවට ලක්වෙලා. බොහෝ රටවල සෞඛ්‍ය පහසුකම්වල තත්වය බිඳවැටෙමින් තිබෙනවා. සමහර රටවල නිවේදන නිකුත් කරන්නේ ඒ රටේ භාෂාවන්වලින් නිසා ශ්‍රී ලාංකිකයින්ට අත්‍යාවශ්‍ය උපදස් ලබාගැනීමේ ගැටළු මතුවෙලා. මේ තත්වයන් නිසා ඔවුන්ගේ ඥාතීන් විශාල අපහසුතාවයන්වලට මුහුණ දෙමින් ඉන්නවා. ලංකාවේ ආණ්ඩුව තීන්දු-තීරණ ගන්නේ ගිනිනිවන හමුදාව වගේ. මෙවැනි වෛරස තත්වයකදී තීන්දු-තීරණ ගත යුත්තේ ඇතිවෙන ගින්න නිවන්න ගිනි නිවන හමුදාව තීරණ ගන්නවා වගේ නොවෙයි. මේ වෙනකොටත් චීන රටෙන් කොරෝනා මර්ධනය සඳහා කළ සෞඛ්‍යමය, පරිපාලනමය, තාක්‍ෂණික මාධ්‍ය සමස්ත ප්‍රතිපත්ති මූලධර්ම සහ ක්‍රියාමර්ග අඩංගු සම්පූර්ණ යෝජනාවලියක් ආණ්ඩුවට ලබාදී තිබෙනවා. චීනය මේ වනවිට රෝගය මර්දනය කොට පාලනය කර තිබෙනවා. ඒ අත්දැකීම් අපේ රටට බාරදී තිබුණත් ඒ අනුව කටයුතු කරන්නේ නැහැ.
ඇතැම් ශ්‍රී ලාංකිකයින් ලංකාවට එන්න ගුවන්තොටුපොළට එනතෙක් ලංකා ආණ්ඩුව මෙරටට ඒම වළක්වා තිබනෙ බව ඔවුන් දැනුවත් වෙලා නැහැ. එනිසා ඔවුන්ට එක පැත්තකින් ආර්ථිකමය පාඩු සිදුවෙලා. දෙවැනි කාරණය තමයි ලංකාවට පැමිණි පුද්ගලයන් දැන් සැකකාරයන් බවට පත්වෙලා. වැරදිකරුවන් බවට පත්වෙලා. ආණ්ඩුව මුල් අවස්ථාවේදී ගුවන්තොටුපොළ සීමා නොකර මගීන් ඇතුල්වීම සීමා නොකර කටයුතු කළා. ආණ්ඩුව එසේ කළේ මැතිවරණය පැවැත්වීමේ මූලික අරමුණින්. මොකද කොරෝන තත්වය නිසා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා නම් ආණ්ඩුවට ඡන්දය කල්දාන්න බලපෑමක් එල්ලවෙනවා. ලංකාවේ දැනට වාර්තාවන රෝගීන්ගෙන් 41ක්ම ගුවන්තොටුපොළ හරහා රටට ඇතුල්වුණු අයයි. ඒ නිසා පැහැදිළියි, ගුවන්තොටුපොල හරහා මෙම රෝගය ඇතුල් වුනා කියලා. නීති පනවා, ගුවන්තොටුපොළ සීමාකිරීමට පෙර ලංකාවට ඇතුළු වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් දැන් ප්‍රජාවන්ගෙන් කොන්වෙන තත්වයක් උදාවෙලා. වගකීම් විරහිතව නිරෝධායන කටයතුවලින් පැන ගිය අය පිළිබඳව ජනතාව සැලකිලිමත්වීම ප්‍රශ්නයක් නොවෙයි. නමුත් නීත්‍යානුකූලව රට තුළට ඇතුල් වුණු අය බලවත් අපහසුතාවයකට පත්වීම අසාධාරණයි. ඔවුන් වැරදිකරුවන් නොවෙයි. අපි පක්‍ෂයක් ලෙස අපගේ විදෙස්ගත සාමාජිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා අදාල රටවල්වල සෞඛ්‍ය අංශ සමග ආණ්ඩුවේ ආයතන සමග සාකච්ඡා කොට ශ්‍රී ලාංකිකයින්ට ලබාදිය හැකි පහසුකම් ලබාදෙන්න කියලා. ඒ නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙන්ම මෙරට ඔවුන්ගේ ඥාතීන් පත්වී තිබෙන අසීරුතා පිළිබඳව ආණ්ඩුවේත් විදේශ කටයතු අමාත්‍යාංශයේත් අවධානය යොමුවිය යුතුයි.
ඒ වගේම මේ මොහොතේ අපේ රටේ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා එකිනෙකාට අවශ්‍ය කරන සහෝදරත්වය මිනිස්සුන් ලෙස මෙම ව්‍යසනය වළක්වා ගැනීමට මැදිහත්වීම ලබාදෙන්න කියලා. රෝගය වැළඳුනු අය, නිරෝධායනයට ලක්වුණු අය, කොන් කරන්නේ නැතිව ඔවුන්ට අවශ්‍ය කරන සහාය ලබාදෙන්න කියලා. මේ මොහොතේ බොහෝ රෝහල්වල සාමාන්‍යයෙන් පවත්වන සායනික කටයුතු සීමා කර හෝ නතර කොට තිබෙනවා. එසේ කළ යුතු වුවත් එමගින් අපහසුතාවයට පත්වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාගැනීමට උදව් කරන ලෙස සෞඛ්‍ය අංශවලිනුත් ග්‍රමීය ප්‍රජා සංවිධානවලිනුත් ඉල්ලා සිටිනවා.
ඒ වගේම අපි ආණ්ඩුවෙන් දැනගන්න කැමතියි ගුවන්තොටුපොළ වසා දැමීමේ තීරණය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා? මොකද අද වනවිටත් අපේ රටේ ගුවන්තොටුපොල රටවල් අතර මාරුවන මගීන්ට විවෘත කොට තිබෙනවා. තවමත් මෙරටින් පිටත්වන මගීන්ට ගුවන්තොටුපොළ විවෘත කර තිබෙනවා. එසේ වුවහොත් හුවමාරුවන මගීන් හරහා අපේ රටේ ගුවන්තොටුපොළෙ සේවකයින්ට රෝගය වැළඳීමේ හැකියාව තිබෙනවා. ගුවන්තොටුපොළ සේවකයින්ට මේ වනවිටත් අත්‍යාවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ පවා මේ තෙක් ලබාදී නැහැ. මේ වනවිටත් බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපොළවල් වසා දමා තිබෙනවා. ඒ වගේම තමන්ගේ රටේ ජනතාවට පමණක් රටට ඇතුල් වෙන්න පමණයි ගුවන්තොටුපොළවල් විවෘත කර තිබෙන්නේ.
ඒ වගේම වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ඉල්ලීමක් තිබෙනවා, දුරකතන මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරන්න කියලා. ජනතාවට තිබෙන සැකයක් නිවැරදි කරගන්න දුරකතන මාර්ගයෙන් වෛද්‍යවරු ඇමතීම සඳහා දුරකතන මාර්ග වැඩි ගණනක් විවෘත කරන්න කියලා ඉල්ලීමක් තිබෙනවා.”










