ජනාධිපති කිව්ව එකමදේ ඉදිරි ඡන්දයේදී බහුතර බලයක් දෙන්න කියන එක විතරයි

ජනාධිපති කිව්ව එකමදේ ඉදිරි ඡන්දයේදී බහුතර බලයක් දෙන්න කියන එක විතරයි

(දෙවන සංස්කරණය) ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවෙන් කොරෝනා වෛරසය පාලනය කිරීමට අදාළව ගනු ලබන පොදු වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් සිදු නොකළ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට බහුතර බලයක් අවශ්‍ය බව කීමට ප්‍රමුඛතාවය ලබාදුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

ඒ මහතාමේ බව පැවසූවේ මේ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පවතින මාධ්‍ය හමුවක් අමතමිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා…

“ලංකාව තුළ කොරෝනා වෛරස තත්වය සීග්‍ර වර්ධනයක් පෙන්වනවා. පහුගිය 15වැනිදා වන විට රෝගීන් 18ක්ද, 16වැනිදා 22ක්ද, 17වැනිදා උදේ 34ක්ද, සවස්වනවිට 43ක්ද වන බව මාධ්‍ය වාර්තා කොට තිබුණා. ඒ අනුව රෝගය වර්ධනය වීමේ සීග්‍රතාවයක් පෙනෙනවා. අපි රටක් ලෙස කොරෝනා අභියෝගයට මුහුණදීලා තිබෙනවා. ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කරගනිමින් මේ අභියෝගය ජයගත යුතුව තිබෙනවා. මෙම තත්වය පාලනය කරගැනීම පුද්ගලයෙකුට, ආයතනයකට, ආණ්ඩුවකට තනිවම කරන්න බැහැ. දැනටමත් එය ඔප්පුවෙලා තිබෙනවා. අපි මුල සිටම කිව්වා මේ සඳහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයයි කියලා. ආණ්ඩුවත් රජයේ ආයතනත් ස්වේච්ඡා සංවිධානත් විවිධ දේශපාලන පක්‍ෂත් මුලු රටම එකතු කරගත් ජාති ආගම් දේශපාලන භේදයක් නැති ජාතික මෙහෙයුමක් ආරම්භ කළ යුතුයි. තවමත් ආණ්ඩුව කරන්නේ දවස ගෙවා ගැනීම පමණයි. මෙවැනි රෝගයක් සමග ආණ්ඩුව සෙල්ලම් කළ යුතු නැහැ.

මේ මොහොතේ අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණදී තිබුණත් ආර්ථිකය ගැන සිතනවාට වඩා ජනතාවගේ ජීවිත පිළිබඳව අවධානය යොමුකළ යුතු මොහොතක්. මෙවැනි මොහොතක ආර්ථිකය දුබල වීමට, නිෂ්පාදන මාර්ග අවහිර වීමට ඇතැම් සේවා දුබලවීමට හැකියාව තිබෙනවා. එය ජනතාවට තේරුම් ගන්නට පුළුවන්. ආණ්ඩුව ප්‍රමුඛතාවය දිය යුත්තේ මිනිස් ජීවිත සුරක්‍ෂිත කිරීමටයි. රෝගය බෝවීම මැඩ පැවැත්වීමටයි. එවැනි අවබෝධයක් සහිතව වගකීමෙන් ආණ්ඩුව වැඩ කරන බවක් දකින්නට නැහැ. අපිත් කැමතියි මේ මොහොතේ විවේචන ඉදිරිපත් කරනවා වෙනුවට මෙම වැඩපිළිවෙළෙහි කොටස්කරුවන් වෙන්න; අපේ දායකත්වය ලබාදෙන්න. නමුත් ගැටළුව වන්නේ එවැනි ඉඩක් නිර්මාණය නොවීමයි.

ඊයේ (17) රාත්‍රියේ ජනාධිපතිවරයා ජාතිය ඇමතුවා. නිවේදනය කොට තිබුණේ රාත්‍රී 8ට ජාතිය අමතන බවක්. නමුත් 8.45 වනතුරු එය ප්‍රමාද වුණා. එම කතාවේ හරය මොකක්ද? සියලුදෙනා බලාපොරොත්තු වුණා ජනාධිපතිවරයා වගකීම්සහගත ප්‍රකාශයක් කරයි කියලා. රෝගය රටට ඇතුල් වුණු ආකාරයත් ගුවන් තොටුපොලේ කාර්යභාරයත් රෝගය ව්‍යාප්තවූ ආකාරයත් පාර්ලිමේන්තු මුදල් වෙන්කර ගැනීමට නොහැකි වූ බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදාගන්න ඡන්යද දෙන්න කියලා ඉල්ලීමක් කළා. කොරෝනා වසංගත තත්වයක් ඇතිවෙලා තිබෙන මොහොතක ජනාධිපතිවරයා ජාතිය අමතලා මහින්දට ආණ්ඩු බලය දෙන්න කියනවා නම් එය විහිළුසහගත කරුණක්. කළ යුතුව තිබුණේ ජනාධිපතිවරයා විසින් රටටත් ජනතාවටත් ධෛර්යය ලබාදීමයි. මේ මොහොතේ තමන්ගේ ජීවිතවලට තිබෙන අනතුර පවා නොසලකා රෝගය සමග සටන් කරන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට ධෛර්යය ලබාදිය යුතුව තිබුණා. නමුත් ඔවුන්ට ස්තුතියක් පවා පිරිනමන්න ජනාධිපතිවරයාට අමතක වුණා. මේ මොහාතේත් ඔහුට මතකයේ තිබුණේ මහින්දගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් හදන කාරණයයි. ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ ව්‍යසනය පවා මැතිවරණ ව්‍යාපාරයක් බවට පත්කකර ගන්නයි. එය සදාචාරසම්පන්න නොවන ක්‍රියාවක් බවයි අපි විශ්වාස කරන්නේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ තිබුණේ ඉතාම වගකීම්විරහිත දේවල්. පරිප්පු මිල අඩු කරනවා කිව්වා. සැමන් ටින් එකක් රුපියල් 100ට දෙනවා කිව්වා. දැන් පාරිභෝගිකයන්ට ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා කුමන වර්ගයේ, කුමන ප්‍රමාණයේ සැමන් ටින් එකක්ද රුපියල් 100ට දෙන්නේ කියලා. අපේ රටේ විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයේ විවිධ මිල ගණන්වලට සැමන් ටින් වර්ග තිබෙනවා. අඩුම තරමේ ජනාධිපතිවරයාට ඒ ගැනවත් අවබෝධයක් නැහැ. ජනාධිපතිවරයා විපතක් තිබෙන මොහොතේ ඡන්ද පොරොන්දු ලබාදීමක්. ආණ්ඩුවක් එවැනි තැනකට වැටිය යුතු නැහැ. බැංකුවලට ණය වාරික ගෙවීමට සහන කාලයක් ලබාදීම හොඳ දෙයක්. නමුත් එම තීරණය බැංකුවලට කොහොමද බලපාන්නේ කියලා කල්පනාකාරී විය යුතුව තිබෙනවා. බැංකුවලට උදව් කිරීමට වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුයි. එනිසා සමස්ත කතාවේදී අපිට දැනුනේ පවතින වසංගත තත්වය මත සිදුකළ කතාවක් නොව ඡන්දයේදී වාසි ලබාගැනීමට විවිධ පාර්ශ්වයන් සතුටු කිරීමට කළ කතාවක් කියලා.

මේ මොහොතේ ආණ්ඩුව ගනිමින් තිබූ ක්‍රියාමාර්ගවල අඩුපාඩු නොකියා බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා. චීනය මෙම රෝගී තත්වය පිළිබඳව දැනගන්නේ ජනතාවට රෝගය වැළඳුන පසුවයි. නමුත් අපි දැනගන්නේ රෝගය අපේ රටට ඇතුල් වීමටත් පෙරයි. එම නිසා එය වළක්වා ගැනීමට ඕනෑ තරම් කල් අපිට තිබුණා. අනෙක් පැත්තෙන් අපි දූපතක් නිසා ගුවන්තොටුපොළ සහ වරාය බේරාගත්තා නම් අපේ රටට රෝගය ඇතුල්වීම වළක්වාගන්න තිබුණා. නමුත් මුල් කාලයේදී ආණ්ඩුව හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. චීනයේ වුහාන්වල සිටි ශ්‍රී ලාංකේය ශිෂ්‍යයින් මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කළ මැදිහත්වීම මෙන් අනෙක් රටවල ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේදී විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබුණා. ආණ්ඩුව කළේ උෂ්ණත්වය මැනලා උණ නැති අය ගුවන්තොටුපළෙන් නිදහස් කිරීමයි. දැන් පොලීසිය යොදලා එලෙස පැමිණි පුද්ගලයින් හොයන්න සිදුවෙලා. ඒ වගේම ආණ්ඩුව චෝදනා කරනවා ඇතැම් පුද්ගලයින් ගුවන්තොටුපොළෙන් පැනලා ගියා කියලා. එහෙම පැනලා ගියානම් ඒකත් ආණ්ඩුවේ දුබලකමයි. ආණ්ඩුව රෝගයට ලංකාව ඇතුළට එන්න ඉඩ ඇරලා දැන් එයාපෝට් වහනවා. හරියට අශ්වයා ගිය පසු ඉස්තාලය වහනවා වගේ වැඩක්. ආණ්ඩුව හැම වෙලාවේම පොදු ජනතාවගේ වැරැද්ද දකිනවා හැර තමන්ගේ අඩුපාඩු දකින්න සූදානම් නැහැ. ඒ වගේම තවමත් ආණ්ඩුව ජනතාවගේ අනවශ්‍ය ගමන්බිමන් පාලනය කරන්න විධිමත් පියවරක් අරගෙන නැහැ.

ආණ්ඩුව දැනටත් කරමින් සිටින්නේ ජාතික වැඩපිළිවෙළක කොටස් ලෙස තීන්දු තීරණ ගැනීම නොව එදිනෙදා මතුවන ගැටළුවලට උත්තර සෙවීමක් පමණයි. රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීම ගැන පවා ආණ්ඩුව තීරණ ගන්නේ රාත්‍රී 12ට. ඒකත් දින එකක්ද දෙකක්ද කියලා තීරණය කර ගන්න බැහැ. ඒ වගේම මේ මොහොතේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන ආයතනවලට අවශ්‍ය පහසුකම් ලබාදී නැහැ. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවන්, පොලීසිය, හමුදාව, ප්‍රවාහන සේවා සපයන පුද්ගලයින්ට අවශ්‍ය උපදෙස්, සනීපාරක්‍ෂක උපකරණ ලබාදී නැහැ. දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කරන්නන්ට බස්වල කොන්දොස්තර මහතුන්ට ත්‍රීවීල් රථ රියදුරන්ට රෝගයෙන් බේරීමට අවශ්‍ය කරන උපදෙස් ලබාදී තිබෙනවාද? අඩුම තරමේ අත්‍යාවශ්‍ය සේවා සපයන පුද්ගලයින්ට මුහුණු ආවරණයක්වත් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි අවධාරණය කරනවා සෞඛ්‍ය අංශවලට අවශ්‍ය උපකරණ ලබාදෙන්න කඩිනම් පියවර ගන්න කියලා. ඒ නිසා දැන්වත් ආණ්ඩුව සියලු ආයතන ඒකාබද්ධ කරලා ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙනවා. මේ වනවිට රට තුළ සනීපාරක්‍ෂක උපකරණවල හිඟයක් ඇතිවෙලා තිබෙන නිසා ආන්ඩුව කළ යුත්තේ ඒවා නිපදවන ආයනත් සමග සාකච්ඡා කොට ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදී නිෂ්පාදනය වැඩි කරීමයි. ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවක් පෙනෙන්නට නැහැ.

මේ වනවිට මැතිවරණය සම්බන්ධයෙන්ද විශාල ගැටළුවක් මතුවෙලා. නමුත් ජනාධිපතිවරයා ජාතිය අමතන වෙලාවේදී පවා මේ ගැන අවධානයක් යොමු කළේ නැහැ. ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් මැතිවරණ කොමිසම අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. වගකිව යුතු දේශපාලන පක්‍ෂ විදිහට මේ මොහාතේ මැතිවරණ කටයුතු කරන්න බැහැ. පිරිස් රැස්කරන්න, ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම මැතිවරණ කොමිසමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. සේවකයින්ට වැඩමුළු පැවැත්වීමට, පුහුණු සැසිවාර පැවැත්වීමට, ලක්‍ෂ සංඛ්‍යාවක සේවක පිරිසක් යෙදවීමට අපහසුතාවයක් තිබෙනවා. අපි ඉල්ලීමක් කරනවා මැතිවරණ කොමිසම මේ පිළිබඳව තීරණයක් ගන්න කියලා. නාමයෝජනා බාරදීමට පෙර මැතිවරණ කොමිසමට තීරණයක් ගන්න බැහැ. නාමයෝජනා බාරදීමේ දිනයෙන් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා. ආණ්ඩුව අනුගමනය කරන්නේ බාල උපක්‍රමයක්. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මැතිවරණය අවලංගු කොට පාර්ලිමේන්තුව සක්‍රීයකර මේ මොහොතේ අවශ්‍ය මැදිහත්වීම සිදුකළ හැකිව තිබෙනවා. නමුත් ආණ්ඩුව හිතාමතා පාර්ලිමේන්තුව සක්‍රීයවීම වළක්වන්න කටයුතු කරනවා. ජනාධිතිවරයා මැදිහත් වෙලා ඡන්යදයක් කල් තියනවා වෙනුවට මැතිවරණ කොමිසමෙන් ඒ පිළිබඳව තීරණයක් ගන්න ඉඩහැර තිබෙනවා. එවිට මැතිවරණය කල්ගියත් පාර්ලිමේන්තුවක් නොමැතිව තීන්දු තීරණ ගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබෙනවා. මේක ආණ්ඩුවේ ඉතාම කැත දේශපාලනයක්. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මෙවැනි ව්‍යසනයක් ඇති වෙලාවක කැත දේශපාලන තීන්දු ගන්න එපා කියලා.

අපි පක්‍ෂයක් ලෙස මේ මොහොතේ මැතිවරණ වැඩ කටයුතු තාවකාලිකව නවත්වා තිබෙනවා. නාමයෝජනා අවසන් දිනය අවලංගු නොකර තිබෙන නිසා නාමයෝජනා බාරදීමට සිදුවී තිබෙනවා. ජනතාවට කියනවා අපිට ලැබෙන සෑම අවස්ථාවකදීම ස්වේච්ඡාවෙන් මැදිහත් වෙන්න අපි සූදානමින් ඉන්නවා. අපේ පක්‍ෂයේ එවැනි ස්වේච්ඡාවෙන් වැඩ කරන විනයගරුක, කැපවීමක් සහිත කණ්ඩායමක් ඉන්නවා. මීට පෙර සුනාමි, ගංවතුර, නියඟයන්වලදී අපි ජනතාවට උදව්කරලා තිබෙනවා. අපි අපේ සාමාජිකයින්ට උපදෙස්දී තිබෙනවා ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍යතා අනුව සහයෝගය ලබාදෙන්න කියලා. නමුත් මෙම තත්වය වසංගත රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අංශවල විශේෂ උපදෙස් නැතිව අපිට වැඩ කරන්න බැහැ. බලයලත් ආයතන මගින් විධිමත් උපදෙස් ඇතිව වැඩකරන්න අපිට ආරාධනයක් ලැබෙනවා නම් අපි ස්වේච්ඡාවෙන් සේවය සපයන්න සූදානම්.

ඒ වගේම මේ මොහොතේ ආණ්ඩුව තමන්ගේ වගකීම හරි විදිහට ඉටු නොකරන තත්වයක් තුළ අප පක්‍ෂයේ මහජන නියෝජිතය්නගේ අරමුදල් යොදාගෙන අත්‍යාවශ්‍ය ස්ථානවලට උදව්කරන්න අපි තීරණය කොට තිබෙනවා. අයි.ඩී.එච්. උණ රෝහලේ කාර්ය මණ්ඩලයට සනීපාරක්‍ෂක උපකරණ ලබාදීමටත් දැනට පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන දෙකට අවශ්‍ය උපකරණ හැකි පමණින් ලබාදීමටත් කටයතු කරනවා. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, කළබල නොකර අනවශය බිය ඇති කර ගැනීමෙන් තොරව රෝගය වළක්වා ගැනීමට පුරවැසියන් ලෙස ඔබට කළ හැකි වගකීම ඉටුකරන්න කියලා. ඒ වගේම අපි පක්‍ෂයක් හැටියට ඉටුකළ යුතු ඕනෑම කැපකිරීමක්, ඕනෑම මැදිහත්වීමක් සිදුකරන්න සූදානමින් ඉන්නවා. ආණ්ඩුවට අවධාරණය කරනවා මේ මොහොතේදී පුද්ගලික වාසිගන්න කටයුතු කරන්නේ නොමැතිව ජනතාව සමග සෙල්ලම් කරන්නේ නැතිව පොදු ජාතික වැඩසටහනක් සකස් කොට එයට සියලු දෙනා එකතු කර ගන්න කියලා.”

විදේශගත ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පත්ව ඇති දුෂ්කරතාවයන් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි…

ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා…

“කොරෝනා වෛරස තත්වය නිසා පීඩාවට පත් ජනතාව අතරේ විශේෂ කොටසක් තමයි විදේශගත ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන්ගේ ඥාතීන්. මේ වනවිට ලෝකය පුරා රටවල කොරෝනා ව්‍යාප්ත වෙමින් පවතින අතර ඇතැම් රටවල් එය පාලනය කිරීමේ අභියෝගයට මුහුණ දෙමින් තිබෙනවා. ලෝකයේ රටවල ලක්‍ෂ 30කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජීවත් වෙනවා. ඔවුන් පීඩාවට ලක්වෙලා. බොහෝ රටවල සෞඛ්‍ය පහසුකම්වල තත්වය බිඳවැටෙමින් තිබෙනවා. සමහර රටවල නිවේදන නිකුත් කරන්නේ ඒ රටේ භාෂාවන්වලින් නිසා ශ්‍රී ලාංකිකයින්ට අත්‍යාවශ්‍ය උපදස් ලබාගැනීමේ ගැටළු මතුවෙලා. මේ තත්වයන් නිසා ඔවුන්ගේ ඥාතීන් විශාල අපහසුතාවයන්වලට මුහුණ දෙමින් ඉන්නවා. ලංකාවේ ආණ්ඩුව තීන්දු-තීරණ ගන්නේ ගිනිනිවන හමුදාව වගේ. මෙවැනි වෛරස තත්වයකදී තීන්දු-තීරණ ගත යුත්තේ ඇතිවෙන ගින්න නිවන්න ගිනි නිවන හමුදාව තීරණ ගන්නවා වගේ නොවෙයි. මේ වෙනකොටත් චීන රටෙන් කොරෝනා මර්ධනය සඳහා කළ සෞඛ්‍යමය, පරිපාලනමය, තාක්‍ෂණික මාධ්‍ය සමස්ත ප්‍රතිපත්ති මූලධර්ම සහ ක්‍රියාමර්ග අඩංගු සම්පූර්ණ යෝජනාවලියක් ආණ්ඩුවට ලබාදී තිබෙනවා. චීනය මේ වනවිට රෝගය මර්දනය කොට පාලනය කර තිබෙනවා. ඒ අත්දැකීම් අපේ රටට බාරදී තිබුණත් ඒ අනුව කටයුතු කරන්නේ නැහැ.

ඇතැම් ශ්‍රී ලාංකිකයින් ලංකාවට එන්න ගුවන්තොටුපොළට එනතෙක් ලංකා ආණ්ඩුව මෙරටට ඒම වළක්වා තිබනෙ බව ඔවුන් දැනුවත් වෙලා නැහැ. එනිසා ඔවුන්ට එක පැත්තකින් ආර්ථිකමය පාඩු සිදුවෙලා. දෙවැනි කාරණය තමයි ලංකාවට පැමිණි පුද්ගලයන් දැන් සැකකාරයන් බවට පත්වෙලා. වැරදිකරුවන් බවට පත්වෙලා. ආණ්ඩුව මුල් අවස්ථාවේදී ගුවන්තොටුපොළ සීමා නොකර මගීන් ඇතුල්වීම සීමා නොකර කටයුතු කළා. ආණ්ඩුව එසේ කළේ මැතිවරණය පැවැත්වීමේ මූලික අරමුණින්. මොකද කොරෝන තත්වය නිසා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා නම් ආණ්ඩුවට ඡන්දය කල්දාන්න බලපෑමක් එල්ලවෙනවා. ලංකාවේ දැනට වාර්තාවන රෝගීන්ගෙන් 41ක්ම ගුවන්තොටුපොළ හරහා රටට ඇතුල්වුණු අයයි. ඒ නිසා පැහැදිළියි, ගුවන්තොටුපොල හරහා මෙම රෝගය ඇතුල් වුනා කියලා. නීති පනවා, ගුවන්තොටුපොළ සීමාකිරීමට පෙර ලංකාවට ඇතුළු වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් දැන් ප්‍රජාවන්ගෙන් කොන්වෙන තත්වයක් උදාවෙලා. වගකීම් විරහිතව නිරෝධායන කටයතුවලින් පැන ගිය අය පිළිබඳව ජනතාව සැලකිලිමත්වීම ප්‍රශ්නයක් නොවෙයි. නමුත් නීත්‍යානුකූලව රට තුළට ඇතුල් වුණු අය බලවත් අපහසුතාවයකට පත්වීම අසාධාරණයි. ඔවුන් වැරදිකරුවන් නොවෙයි. අපි පක්‍ෂයක් ලෙස අපගේ විදෙස්ගත සාමාජිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා අදාල රටවල්වල සෞඛ්‍ය අංශ සමග ආණ්ඩුවේ ආයතන සමග සාකච්ඡා කොට ශ්‍රී ලාංකිකයින්ට ලබාදිය හැකි පහසුකම් ලබාදෙන්න කියලා. ඒ නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙන්ම මෙරට ඔවුන්ගේ ඥාතීන් පත්වී තිබෙන අසීරුතා පිළිබඳව ආණ්ඩුවේත් විදේශ කටයතු අමාත්‍යාංශයේත් අවධානය යොමුවිය යුතුයි.

ඒ වගේම මේ මොහොතේ අපේ රටේ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා එකිනෙකාට අවශ්‍ය කරන සහෝදරත්වය මිනිස්සුන් ලෙස මෙම ව්‍යසනය වළක්වා ගැනීමට මැදිහත්වීම ලබාදෙන්න කියලා. රෝගය වැළඳුනු අය, නිරෝධායනයට ලක්වුණු අය, කොන් කරන්නේ නැතිව ඔවුන්ට අවශ්‍ය කරන සහාය ලබාදෙන්න කියලා. මේ මොහොතේ බොහෝ රෝහල්වල සාමාන්‍යයෙන් පවත්වන සායනික කටයුතු සීමා කර හෝ නතර කොට තිබෙනවා. එසේ කළ යුතු වුවත් එමගින් අපහසුතාවයට පත්වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාගැනීමට උදව් කරන ලෙස සෞඛ්‍ය අංශවලිනුත් ග්‍රමීය ප්‍රජා සංවිධානවලිනුත් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපි ආණ්ඩුවෙන් දැනගන්න කැමතියි ගුවන්තොටුපොළ වසා දැමීමේ තීරණය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා? මොකද අද වනවිටත් අපේ රටේ ගුවන්තොටුපොල රටවල් අතර මාරුවන මගීන්ට විවෘත කොට තිබෙනවා. තවමත් මෙරටින් පිටත්වන මගීන්ට ගුවන්තොටුපොළ විවෘත කර තිබෙනවා. එසේ වුවහොත් හුවමාරුවන මගීන් හරහා අපේ රටේ ගුවන්තොටුපොළෙ සේවකයින්ට රෝගය වැළඳීමේ හැකියාව තිබෙනවා. ගුවන්තොටුපොළ සේවකයින්ට මේ වනවිටත් අත්‍යාවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ පවා මේ තෙක් ලබාදී නැහැ. මේ වනවිටත් බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපොළවල් වසා දමා තිබෙනවා. ඒ වගේම තමන්ගේ රටේ ජනතාවට පමණක් රටට ඇතුල් වෙන්න පමණයි ගුවන්තොටුපොළවල් විවෘත කර තිබෙන්නේ.

ඒ වගේම වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ඉල්ලීමක් තිබෙනවා, දුරකතන මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරන්න කියලා. ජනතාවට තිබෙන සැකයක් නිවැරදි කරගන්න දුරකතන මාර්ගයෙන් වෛද්‍යවරු ඇමතීම සඳහා දුරකතන මාර්ග වැඩි ගණනක් විවෘත කරන්න කියලා ඉල්ලීමක් තිබෙනවා.”

Facebook
Twitter
LinkedIn