ආපදාවලින් පීඩාවට පත් කඳුකර ජනතාවට නිවසක හිමිකම ලබා දුන් අද දිනය කඳුකරයේ ජනතාවට පමණක් නොව මුළු රටටම සතුටු දායක දිනයක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සඳහන් කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ, 2023 වසරේදී සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්,
“අද කඳුකරයේ ජනතාවට පමණක් නොව මුළු රටටම සතුටු දායක දිනයක්. ආපදාවලින් පීඩාවට පත් කඳුකර ජනතාවට නිවසක හිමිකම ලබා දෙන සතුටුදායක දිනයක්. වත්මන් රජය කෙරෙහි කඳුකර ජනතාව විශාල විශ්වාසයක් තබා තිබෙනවා. මෙම කඳුකර ජනතාව වසර 200 කට වැඩි කාලයක් රැවටුණු ජනතාවක්. 2024 දී සිදු වූ දේශපාලන වෙනස අපගේ ජනතාවට යහපත් වෙනසක් සඳහා මග පෑදුවා. ඒ අනුව අද හැටන් ප්‍රකාශනයේ සඳහන් දේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අරගල, පෙළපාළි, උපවාස කිසිවක් නැතුව අද කඳුකර ජනතාවට වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.
අද මෙහි ඉදිකර ඇති නිවාස සියල්ලම රජයේ වියදමින් ඉදිකරන ලද නිවාස බව කිව යුතුයි. මෙය ආරම්භයක් පමණයි, මෙතැන් සිට මෙම වැඩපිළිවෙළ කඳුකරය පුරා ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. සෑම පුරවැසියෙකුටම ඉඩමක අයිතිය සහිත නිවසක් ලබා දෙන බවට ජාතික ජන බලවේගයේ පොරොන්දුව අද ඉටු වෙමින් පවතිනවා.
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ද, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර හෙන්නායක, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් Maitrey Kulkarni මහතා ඇතුළු විදේශීය නියෝජිතයන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.”

































