බණ්ඩාලරවෙල පූනාගල කබරගල වතු යායේ මළයගම් ප්‍රජාව වෙනුවෙන් ඉදිකළ අංග සම්පූර්ණ නිවාස එම ජනතාවට ලබාදීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.
මෙම නිවාස ලබාදීම මළයගම් දෙමළ ප්‍රජාවගේ අවුරුදු 200ක ඉතිහාසය තීරණාත්මක ලෙස හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමකි. මෙම ජනතාව අසීමිත පීඩනයකට පත්කළ ආකාරය අ.සෙ.මුරාගනන්දම් කෙටිකතාකරුවා “කාලිමුත්තුගේ පුරවැසිභාවය” යන කෙටිකතාවෙන් අපූරුවට හෙළිකර තිබිණි. කාලිමුත්තුගේ පුරවැසිභාවය යන නමින් ඉබ්නු අසුමත් සහ පුෂ්පා රංගනී රත්නායක දෙපළ විසින් සිංහලට පරිවර්තනය කළ කෙටිකතා එකතුව 1991දී කෘතියක් ලෙස නිකුත් කර තිබිණි.
එම කෘතියේ ඇතුළත් කාලිමුත්තුගේ පුරවැසිභාවය නම් කෙටිකතාවට වස්තු බීජය වී තිබෙන්නේ 1948දී රටක් අහිමි වූ මළයගම් ජනතාවගේ වේදනාකාරී ජීවිතවල හරස්කඩකි. කාලිමුත්තු පුරවැසිභාවය අහිමිව ඉන්දියාවට පිටුවහල් කිරීමට නියම වූ වතුකම්කරුවෙකි. ඔහු මෙරට ජන්ම ලාභය ලැබූ මිනිසෙකු බව සනාථ කළ හැකි කිසිදු ලියවිල්ලක් නොමැති දස දහස් ගණනක් පිරිසගෙන් එක් අයෙකි.
ශ්‍රී ලංකාවට බැඳී සිටින ආකාරය තහවුරු කළ හැකි කිසිවක් කාලිමුත්තු වෙත නොවීමෙන් සිත්තැවුලට පත්ව සිටියේය. අවසානයේ ඔහුට මතක් වූයේ තමන්ගේ මී මුත්තා වළ දැමූ ස්ථානය හාරා එයින් ලබා ගන්නා මී මුත්තාගේ ඇටකටුවක් රජයේ නිලධාරීන්ට ඉදිරිපත් කිරීමෙන් පුරවැසිභාවය සනාථ කළ හැකි බව ය. ඔහු රජයේ නිලධාරීන් ඉදිරියේ මී මුත්තා වළ දැමූ තැන වළ හාරා ජයග්‍රාහී ලෙස වළ මතුපිටට පැමිණියේ මී මුත්තාගේ ඇටකටුව නිලධාරීන්ට ඉදිරිපත් කරමින් ය.
අවුරුදු 200ක මේ වේදනාකාරී ඉතිහාසය ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් බණ්ඩාරවෙල කබරගලදී වෙනස් කරනු ලැබීය. නිවාසලාභී මළයගම් ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමේ ඔප්පුද ප්‍රදානය කර, ඔවුන් වෙත ස්ථිර ලිපිනයක් ද ලබාදීම සිදුකරනු ලැබීය.
මෙම ඓතිහාසික අවස්ථාවේ කාලිමුත්තුගේ පුරවැසිභාවය නම් කෙටිකතාව නැවත කියවීම සඳහා පහතින් පළ කෙරේ.
කාලිමුත්තුගේ පුරවැසිභාවය
අ. සෙ. මුරුගානන්දම්
ඉබ්නු අසුමත් සහ පුෂ්පා රම්ලනී රත්නායක විසින් පරිවර්තනය කරන ලද දෙමළ කෙටිකතා කිහිපයක් ‘කාලිමුත්තුගේ පුරවැසිභාවය’ යන නමින් කෙටිකතා එකොළහක කෘතියක් ලෙස 1991 අගෝස්තු මස නිකුත් කර තිබිණි. එහි පළ වූ අ. සෙ. මුරුගානන්දම්ගේ ‘කාලිමුත්තුගේ පුරවැසිභාවය’ නම් කෙටිකතාව මෙහි ඇතුළත් ය.
දෙමළ පාඨකයන් විසින් ‘අසෙමු’ යන කෙටි නමින් හඳුන්වනු ලබන මෙම ලේඛකයා දැන් බොහෝ වයෝවෘද්ධ අයෙකි. ඔහුගේ සාහිත්‍ය සේවාව වසර පණහක් පමණ අතීතයට දිවෙයි. ආර්ථික වශයෙන් සාර්ථක පුද්ගලයකු නූණත්, දෙමළ පාඨකයන් අතර සේ ම දෙමළ සංස්කෘතික සංවිධාන අතරත් ඔහු බොහෝ ගෞරව ලබයි. ‘මනිද මාඩු’ (මිනිස් ගවයා) මුරුගානන්දම්ගේ කෙටිකතා සංග්‍රහයකි. එය මෑතක දී ප්‍රකාශයට පත් විය. මේ සමඟ පළ වන ‘කාලිමුත්තුගේ පුරවැසිභාවය’ කෙටිකතාව ලියන ලද්දේ 1958දී ය. එදා මෙදාතුර ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව පෙළන ප්‍රධාන ප්‍රශ්නයක් වන පුරවැසිභාවය එයට තේමා වී ඇත. ඔවුන් මේ භූමියට කළ සේවය ගැන මේ රටට ඔවුන්ගේ ඇති ආදරය ගැන මේ කෙටිකතාවෙන් මුරුගානන්දම් අපට කියන්නේ සරල, හැඟුම්බර ආකාරයකිනි. වසර 33ක් පැරැණි මේ කෙටිකතාව කීප වරක් පළ විණි. 1983දී පළ වූ ‘මාරුදම්’ සඟරාවෙන් මෙය උපුටා ගැනිණි.
කාලිමුත්තුගේ පුරවැසිභාවය
ලාංකීය සමාජයේ මිනුම්දඬුවලින් මැන්නොත්, කාලිමුත්තු මේ රටට එතරම් ලොකු සේවයක් සැලැසූ කෙනකු නොවේ. එනිසා ම රජයෙන් ද ඔහු විශේෂ වශයෙන් පිළිගත් කෙනකු වූයේ නැත. ඔහු සාමාන්‍ය වතු කම්කරුවෙකි. කාලිමුත්තුගේ පවුලේ උදවිය එක් කාලපරිච්ඡේදයක් ලංකාවේ කඳුකරයේ ජීවත් වූ අතර, කඳුකරය ද ජීවත් කරවූහ. ඒ මුතුන්මිත්තන්ගේ දහදියෙන් පොහොර වී පෝෂණය වීමෙනි. අද මෙම ‘රාජගිරි වතුයාය’ මේ තරම් කලඑළියක් ලබා ඇත්තේ මන්ද? සැබැවින් ම කඳුකරයේ තේ ගසින් පිරුණු කඳුවැටි අදත් හිස ඔසවා අභිමානයෙන් සිටින්නේ ඉන්දියානු කුළීකරුවන් නිසා ය; ඔවුන්ගේ ශ්‍රමය නිසා ය.
ඉංග්‍රීසින් ලංකාවේ කෝපි වගා කිරීමට පටන් ගත් කාලයේ සිට ම කාලිමුත්තුගේ මුතුන්මිත්තෝ වතු කම්කරුවන් ලෙස ලංකාවේ ජීවත් වූහ. ‘ලාංකික ප්‍රජා අයිතිවාසිකම්’ ගැන කටකතාවක් ගම පුරා පැතිරිණි. ‘රාජගිරි වතුයාය’ රජයට පවරා ගන්නට යන බවත්, ලාංකික පුරවැසිභාවය තිබෙන අය පමණක් එම වතුයායේ සේවය පිණිස ගන්නා බවත් කියැවිණි. පුරවැසිභාවය නැති ඉන්දියානු කම්කරුවන් ආපසු ඉන්දියාවට යවන බවත්, ඒ නිසා වතු කම්කරුවන් තමන් සතු ලියකියැවිලි පෙන්වා පුරවැසිභාවය ලබාගත යුතු බවත් කාලිමුත්තුට දැනගන්නට ලැබුණේ මේ අතර ය.
කාලිමුත්තුට පුරවැසිභාවය අවශ්‍ය වූයේ මැතිවරණයක් සඳහා ඡන්දය ඉල්ලීමට හෝ වෙනත් දේශපාලන වාසියක් ලබා ගන්නට නොවේ. මතු කලෙක දී ලංකාවේ පුරවැසියන් සේ පෙනීසිටිය යුතු දරු-මුණුබුරන් ගැන වූ හැඟීම ඔහුට සිතින් අත්හළ නොහැකි විය.
කාලිමුත්තු සමඟ ඔහුගේ මව, බිරිඳ සහ දරුවන් තිදෙනා ද ජීවත් වූහ. මුණසිංහගේ සහ අප්පුහාමිගේ දරුවන් මෙන් ම කාලිමුත්තුගේ දරුවන් ද මෙම සීතල පරිසරයට “ඔහෑ… ඔහෑ…” කියා හඬාගෙන ඉපැදුණු බිළිඳුන් ය. මුළු සිරුර ම වතුයායේ හිතසුව පිණිස මිරිකාහරිමින්, මෙතරම් කාලයක් වත්තේ ජීවත් වුණු කාලිමුත්තුට තිබෙන විශාල ම වස්තුව මොවුන් ය. පස්දෙනකුගෙන් යුත් ඔහුගේ පවුල් සම්පත පමණක් ය.
ඒ පවුලත් සමඟ ඈඳුණු දුක්ඛ දෝමනස්සයනුත් දෑතින් බදාගෙන ඔහු ඉන්දියාවට ගොස් කුමක් කරන්න ද? ළමයින් වියපත් වන විට ඔවුන්ගේ ජීවිත සකස් කර දෙන්නට කාලිමුත්තුට කිසියම් ජීවනෝපායයක් එහි දී හරියාකාරව ලැබෙනු ඇත් ද?
මේ සියලු කල්පනාවලින් මනස පිරෙද්දී, පුරවැසිභාවය කෙසේ හෝ ලබා ගැනීමේ සිතුවිල්ල ද දැඩිව කාලිමුත්තුගේ සිත වසා දැවැන්තව සිටගත්තේ ය. කිසි ම අයිතිවාසිකමක් නොලබා තේ ගස්වල පොහොරට සිය මළකඳ දවසක වැළලුවහොත් …? එය ද කාලිමුත්තුගේ සිත පෙළන්නකි. පරම්පරා ගණනාවක් මැරි මැරී වැඩ කොට අවසානයේ මැරෙන විටවත් කිසි ම අයිතිවාසිකමක් නොමැතිව නිකම් ම නිකමකු වී මිය යනවාට වඩා පුරවැසිභාවය ලබා ම මිය යන්නට ඇත් නම් ! යැයි ඔහු බොහෝ විට සිතුවේ ය. සිත තුළ වරින්වර මෙවැනි ආශාවන් මතු වුව ද, ඔහු කිසිවකුටත් ඒ ගැන හෙළිදරවු කළේ නැත. එසේ පැවසුවහොත්, එක් එක් වතු කම්කරුවාට කොතරම් ආශාවන් කන්දරාවක් තිබිය හැකි ද? ඒවා කෙසේ නම් තක්සේරු කරන්න ද?
කාලිමුත්තු ගිය ගිය තැන්වලින් ඔහුට අසන්නට ලැබුණේ පුරවැසිභාවය ලබා ගන්නට නම්, බොහෝ සහතික සහ ලියකියැවිලි අවශ්‍ය බව ය. සමහරෙක් “අහවල් තැන, අහවල් නිලධාරියාගෙන් ලියුමක් ගෙනෙං – අහවල් තැන, අහවල් මහත්මයාගෙන් සහතිකයක් ගෙනෙං” යැයි කියමින්, ඔහුව එහාට මෙහාට රස්තියාදු කළහ. ඉන්දියාවෙන් එන කම්කරුවන් මෙවැනි අවස්ථා ඉවසා දරා ඉන්නට ලැබූ අත්දැකීම්වලින් ම හුරුපුරුදු වී ඇත. එනිසා ම රස්තියාදුව නිසා කාලිමුත්තුට එතරම් මහන්සියක් නොදැනුණේ ය. අරයා, මෙයා හමු වන්නට දහපහළොස් වතාවකටත් වඩා රස්තියාදු වන්නට සිදු විය. ඔහුගේ සිත විඩාපත් වූයේ රස්තියාදු වීම නිසා නොව ගිය සියලු ගමන් ගඟට කැපූ ඉනි සේ ඵල රහිත වූ විට ය.
“සහතික ඕන. උප්පැන්න සහතිකේ අනිවාර්යයෙන් ම පෙන්වන්න ඕනි.” සුදු මහත්වරුන් වතු පාලනය කළ සමයේ ඔහු උප්පැන්න සහතිකයක් කෙසේ නම් ලබා ගන්න ද?
“අයියා… මගේ ගෑනිට දරුවෙක් හම්බ වුණා. නම කරුප්පයියා කියලා ලියා ගත්තනං හාමුදුරුවනේ…” කියා වතු ලොක්කාගේ කන්තෝරුවට ගොස් කියන විට එහේ සිටින යාපනයේ ලිපිකරු මහත්තයා මෙසේ කියනු ඇත.
“මොකද් ද ඩෝ… කරුප්පු… අයියා… ? උඹලා කවදද අයියා… වුණේ… ? සින්නකාලිමුත්තු (පොඩි කාලිමුත්තු) කියලා කියපං.” එසේ කියා ‘සි. කා.’ යනුවෙන් පමණක් සඳහන් කරගෙන කටයුතු නිමා කරයි. මේ අන්දමට කටයුතු කෙරෙද්දී, උප්පැන්න සහතික කෙසේ නම් හදා ගන්න ද? එහෙත්, පුරවැසිභාවය දෙන මහත්වරු උප්පැන්න සහතික ඉල්ලුවෝ ය; “සහතික පත්‍ර අරං වරෙං” කියා ගෝරනාඩු කළෝ ය.
“අප ගැන සහතික කරන්නට ඕනි ද අයියා…? අර බලන්න අපේ කකුල් ගෙවෙනකල් ඇවිදලා, දහදිය, ලේ, කඳුළු හෙළලා පරම්පරා ගණනාවක් අපි ම හදපු තේ වතු…?” කියා කිවහොත්, ඔවුන් කිසිවකුගේ කන්වලට එය නෑසෙනු ඇත.
“ඒකට සහතික…?” කාලිමුත්තුගේ හද කම්පා විණි.
ඉන්දියානු කම්කරුවන්ගේ සේවය රජය ප්‍රතික්‍ෂේප කරතියි කියා කිවහොත්, ඔවුන් රෑ-දහවල් දෙකේ මහන්සි වී කළ සේවය වතුරට ගියා සේ නොවේ ද? එසේ ම ඒ අසරණයන් උපන්නෙත් නැති මැරෙන්නෙත් නැති වර්ගයක් ද? මේ සිතුවිලි කාලිමුත්තුගේ සිත තුළ වධ දෙන්නට විය.
පුරවැසි බව ලියන කන්තෝරුවේ මහත්වරුන්ට දිනක් කාලිමුත්තු කතා කළේ ය.
“එන්න… මං උප්පැන්න සහතිකේ පෙන්නන්නං” ඔහු ඔවුන් කැටුව ලයිම පිටුපස වත්තට ගියේ ය. එහි සරුසාරව හැදුණු විශාල ගසක් පෙනෙන්නට තිබිණි. කාලිමුත්තු තමා අත තිබූ පොරොවෙන් එම ගස කපන්නට විය.
කාලිමුත්තු කෙතරම් කේන්තියට පත් වී සිටියා ද යන්න ඔහුගේ පොරෝ පහරවලින් මැන ගත හැකි විය. කාලිමුත්තු අතින් වේගයෙන් වදින පොරෝ පහරවල් හා ආවේශ වූවකු සේ ගස කපන කාලිමුත්තු දකින විට නිලධාරීන්ට නොයෙක් දේ සිතුණු නමුත්, ඔවුහු කිසිවක් නොකියා නිශ්ශබ්දව සිටියහ. කාලිමුත්තු ගහ කපා ඉවත් කර ගසේ මුල් ගලවන්නට පටන් ගත්තේ ය.
නිලධාරීහු පුදුමයට පත් වූහ. මොහු මේ කරන්නේ කුමක් ද? මෙහි අවසානය කුමක් ද යැයි දැනගැනීමට ඇති කුතුහලයෙන් ම ඔවුහු තව දුරටත් නිහඬව සිටියහ. “උප්පැන්න සහතික ටික මොහු ගස් යට හංගලා ඇති. පිස්සා…” නිලධාරීහු සිතන්නට වූහ.
ගසේ මුල් සේරම ගලවා අවසන් විය. ඉන් පසුව කාලිමුත්තු එතැන වළක් හාරන්නට වූයේ ය. ඔහු එය තරමක් ගැඹුරට හෑරුවේ ය. දැන් නිලධාරීන්ගේ ඉවසීමේ රතු ඉර පැන අවසාන ය.
“කාට ද අප්පේ උඹ ඔය වළ හාරන්නේ…?” කියා නිලධාරියෙක් විහිළුවට මෙන් විමසුවේ ය.
“මහත්තුරු තව ටිකක් ඉවසන්ඩකො…” කාලිමුත්තු කියා සිටියේ ය. දැන් වළ ඔහුගේ කර හරියට ම ගැඹුරු විය. ඔහුගේ උදැල්ලට යමක් බරට හසු විය. කාලිමුත්තු ඉන් අවදි වූවා සේ ය. ඔහු නැමී එය අතට ගෙන පස් ඉවත් කළේ ය. එය ගලකි.
“මේ මොන ඉලව්වක් ද මේක ඇතුළේ…” ඔහු එය ඉහළට විසි කළේ ය. එය උඩ සිටි එක් නිලධාරියකුගේ හිසේ ගෑවී, නොගෑවී ගියේ ය.
“ඒයි… උඩ මිනිස්සු ඉන්න බව උඹට මතක නැද්ද?” නිලධාරියා ඔහුට සැර විය.
කාලිමුත්තු තවත් ගැඹුරට වළ හාරන්නට විය. පස් අතර කුමක් දො දිලිසෙනු ඔහු දුටුවේ ය. පණුවකු මෙන් පෙනුණු එය ඔහු අතට ගෙන පස් පිස දැමුවේ ය. එය ඉනට බඳින රිදී හවඩියකි. කාලිමුත්තුගේ දෑස් තෙත් විය. එය දෑසට දෑතින් ම ළං කළ ඔහු ඉනේ රඳවා ගත්තේ ය.
කාලිමුත්තු හෑරූ වළ දැන් ඔහු වසා ගන්නට තරම් ගැඹුරු විය. වළ අසල සිටගෙන ඉඳලා ම නිලධාරීන්ට ඇති වෙලා ය. ඔවුහු මඳක් එහාට ගොස් කපා දැමූ ගසේ කඳ මත වාඩි වූහ.
ගත වූයේ මොහොතකි. කාලිමුත්තු සතුටින් ඉපිලෙන්නට විය.
“මෙන්න උප්පැන්න සහතික ලැබුණා. මං ලාංකික පුරවැසියෙක්. ඒකට මීටත් වඩා සහතික මොකට ද?” කාලිමුත්තු කෑ ගසන හඬ වළ තුළින් දෝංකාර දෙන්නට විය. ඒ සමඟ ම පසින් වැසුණු යමක් එම නිලධාරීන් ළඟට විසි වී වැටිණ. ඔවුහු එතැනට බලාපොරොත්තුසහගතව දිව ගියහ. එය මිනිස් ඇට කැබැල්ලකි.
“අයියා (මහත්වරුනේ)… මේ මගේ සීයාගේ ඇට කෑල්ලක්.”
අවුරුදු ගණනාවකට ඉස්සර මගේ සීයාව මෙතැන වැළලුවා. මං ලංකාවේ පුරවැසියෙක් බව පෙන්වන්න මේ සහතිකේ මඳි නං මාවත් මේ වළ ඇතුළට ම දාලා පස් වහලා පලයල්ලා…”
කාලිමුත්තු වළ තුළ හිඳගෙන ම කෑ ගැසුවේ ය.











