මලෛයගම් ජනතාව මේ රට සරු සාර කිරීම වෙනුවෙන් සිය දහදිය, කඳුළු වැය කරන ජන ප්‍රජාවක් – ඇමති සමන්ත විද්‍යාරත්න

මලෛයගම් ජනතාව මේ රට සරු සාර කිරීම වෙනුවෙන් සිය දහදිය, කඳුළු වැය කරන ජන ප්‍රජාවක් – ඇමති සමන්ත විද්‍යාරත්න

මලෛයගම් ජනතාව වැවිලි බෝග ක්ෂේත්‍රයේ කටයුතු කරමින් මේ රට සරු සාර කිරීම වෙනුවෙන් සිය දහදිය, කඳුළු වැය කරන ජන ප්‍රජාවක් බවත් ඔවුන් පසුගිය වසරේ තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.5ක් ලබා ගෙන තිබෙන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, 2023 වසරේදී සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න,

“අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අපේ අමාත්‍යාංශයේ පළමු කාර්යය ලෙස අපි මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා සිදු කළා. ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන හොයාගෙන ආරක්ෂක අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මෙම නිවාස කඩිනමින් සහ ප්‍රමිතියෙන් යුතුව ඉදිකර දීමේ වගකීම ආරක්ෂක හමුදාවට භාර දුන්නා.

ඒ වගේම ඉදිකිරීම් ආරම්භ කර මෙතෙක් වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති පිළිබඳව අපේ අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබෙනවා. 2004 වසරේ ආරම්භ කර වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති තැනින් තැන තිබෙනවා. අපි මේ නිවාස අදියරෙන් අදියර ඉදි කරමින් තිබෙනවා. 2004 වසරේ එනම් වසර 22කට පෙර ආරම්භ කළ ඇතැම් නිවාස ව්‍යාපෘති විවිධ ගැටලු නිසා අතරමග නැවතී තිබෙනවා. එහෙත් 2025 වසරේ ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුළ උසස්  ප්‍රමිතියෙන් යුතුව මෙම නිවාස ඉදිකර ඔබට ලබා දීමට හැකි වීම පිළිබද අපි බෙහෙවින් සතුටු වෙනවා. විශේෂයෙන්ම මෙම කටයුත්තේදී කැපවී කටයුතු කළ අපේ යුද හමුදාවේ සහෝදරවරුන්ට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

මලෛයගම් ජනතාව මේ රට සරු සාර කිරීම වෙනුවෙන් සිය දහදිය, කඳුළු වැය කරන ජන ප්‍රජාවක්. ඔවුන් මේ රටේ වැවිලි බෝග ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. පසුගිය වසරේ තේ අපනයනයෙන් අපි  ඩොලර් බිලියන 1.5ක් ලබා ගෙන තිබෙනවා.

ජනාධිපතිතුමා ධූරයට පත් වීමට පෙර 2023 වසරේදී මලෛයගම් ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වීම නිමිත්තෙන් හැටන්වලට ගිහින් ඓතිහාසික හැටන් ප්‍රකාශනය නිකුත් කළා. එහිදී  ප්‍රකාශ කළා අපේ රජයක් යටතේ මේ ජනතාවට ඔවුන්ගේ අයිතීන් ලබා දෙනවා කියලා. අද එය සංකේතවත් කරන අවස්ථාවක්. මෙය නිවසක් පමණක් නොවෙයි, ජනතාවට අභිමානයක්, අයිතියක්, ආරක්ෂාවක් සහ ජීවිතයක් ලබා දෙන අවස්ථාවක්. ඒ පිළිබඳ අපි සතුටු වෙනවා.

අපේ රජය බලයට පත්වීමට පෙර පසුගිය වසර 10ක් තුළ ආපදාවට පත්වු අය වෙනුවෙන් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකර දී තිබුණේ නිවාස  734ක් පමණයි. අපේ රජය බලයට පත්වී තවම වසර දෙකක් ගත් වුණේ නැහැ. එහෙත් අපි මේ වන විට  මේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ නිවාස 4000කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ කර තිබෙනවා. ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ නිවාස 10,000ක් ඉදිකරමින් තිබෙනවා. මම ඒ පිළිබඳ ඉන්දියානු රජයට ස්තූතිවන්ත වෙනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්