ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවේදී තමන්ද සිටි බවත් නීතිඥයින්ට ඒ සාකච්ඡාවේදී අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබුණු බව එක් නීතිඥ මහතෙකු පසුව මාධ්‍ය හමුවේ කියා සිටි නමුත් ඒක සම්පූර්ණ අසත්‍යයක් බවත් නීතිඥ ජයන්ත තිලකරත්න අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ජයන්ත තිලකරත්න,
“රජය විසින් යෝජනාකර තිබෙන අධිකරණ ප්‍රතිසංවිධානය පදනම් කර ගෙන එයට යම් පිරිසක් විරුද්ධත්වය දක්වනවා. විරුද්ධ වීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. විරුද්ධ වීම සුබවාදී ආකාරයට කිරීම කිසිදු ප්‍රශ්නයක් නොවේ. ගරු අග්‍රවිනිශ්චයකාරතුමා හා වෙනත් පුද්ගලයන් මූලික කර ගනිමින් කරන විනාශකාරී වැඩපිළිවෙළ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට පවා බලපානවා. පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත විනිශ්චයකාරවරයෙකුව විවේචනය කිරීමේ බලයක් අපට නැහැ. එය වැරදි පූර්වාදර්ශයක්. මහජනතාව තුළ සැකයක් හා කුතුහලයක් මතු වෙන කරුණක් වෙනවා.
ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවේදී මමත් හිටියා. එක් නීතිඥ මහතෙකු පසුව මාධ්‍ය හමුවේ කිව්වා, ඔවුන්ට ඒ සාකච්ඡාවේදී අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබුණු බව. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඔවුන් තව ප්‍රකාශයක් කර තිබෙනවා, 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවාට ප්‍රශ්නයක් නැහැ, අපි අකමැතිත් නැහැ, හැබැයි මේ කාලය තමයි ප‍්‍රශ්නගත කියලා. මේ දෙසැම්බර් මාසයෙන් පස්සේ ගෙනාවා නම් අපි මේකට එකඟ බව ප්‍රකාශ කළා. දෙසැම්බර්වලින් පසුව ගෙනාවාම් ප්‍රශ්නයක් නොවෙන්නත්, දැන් සංශෝධනය ගෙන ඒම ප්‍රශ්නයක් වෙන්නත් හේතුව මොකක්ද? ඔවුන් මේ විවේචනයට ලක් කරන්නේ පුද්ගලයෙක් අරභයා තමයි. රජය මේ ක්‍රියාමාර්ගය අරගෙන තිබෙන්නේ පුද්ගලයෙක් මූලික කර ගෙන නොවෙයි. රටක අභිවෘද්ධිය සඳහා යම් ක්‍රියාදාමයක් ව්‍යවස්ථානුකූලව අරගෙන තිබෙනවා. මේක සම්පූර්ණ අධිකරණ පද්ධතිය තුළම සිදු කරන ව්‍යායාමයක්. වෙනස් කිරීමක්. එය කරන්නේ අධිකරණ පද්ධතියේ ප්‍රගමනය සඳහා. අධිකරණ පද්ධතියේ අඩුපාඩු කම් අපි එදත් දැක්කා. මේ රජය පත් වෙන කොට අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන බව ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වරම ලැබුණේ ජනතාවගෙන්. 159ක් ජනතාව පාර්ලිමේන්තුවට එවා තිබෙන්නේ මේ වෙනස්කම් කරන්න.
අනෙක මේ කරන වෙනස් කිරීම් තුළින් එක පුද්ගලයෙකුට වාසියක් වෙනවාය කියන මතය සම්පූර්ණ වැරදි මතයක්. නීතිඥ සංගමයේ අපේ සභාපති තුමා කියා තිබෙනවා තර්ජනයක් කළා කියලා. අපි අහනවා කොහේදීද ඔබතුමාට එවැනි සිද්ධියක් සිදුවුණේ කියලා. එය අපට නිවැරදිව කියන්න. අපි සැමට විවාද සංවාද කරන්න පුළුවන්. මේකට බලපෑම් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. ලෝකයේ බොහෝ රටවල ප්‍රතිසංස්කරණය කරන කොට බොහෝ දෙනා විරුද්ධ වෙනවා. මේ සංවාද විවාදවලින් හොඳ දේ එළියට එන්න පුළුවන්. ඒ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල භුක්ති විඳින්න ලැබෙන්නේ ඒ ප්‍රතිසංස්කරණ කිරීම් තුළින් පමණයි. මේ ප්‍රතිසංස්කරණය ඉතාමත්ම රටට අවශ්‍යයි. මේ ප්‍රතිසංස්කරණවලින් ජනතාවට කිසිදු හානියකි සිදුවන්නේ නැහැයි කියන ප්‍රකාශය මම කියනවා. ජනතාවගේ නඩු කල් යෑම අඩු වෙනවා. විධිමත් අධිකරණ පද්ධතියක් ඇති වෙනවා. වංචාව, දූෂණය සියල්ලටම වැට බඳින අධිකරණ පද්ධතියක් ඇති කිරීම තමයි මෙහි අරමුණ. විනිශ්චයකරුවන්ට කරන අනවශ්‍ය මඩ ගැසීම් නවත්තන්න, සංවාද කරන්න, විවාද කරන්න, ඒ තුළින් අපි හරි දේ කරමු කියලා අපි යෝජනා කරනවා.”










