මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව මේ මස 13 වනදා යළි කැඳවන ලෙස සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (06) නියෝග කර ඇත.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන ගොනුවක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දී තිබේ.
මෙහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන දුරකතන ඇමතුම්වලට අදාල පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා ලබන 11 වනදා විත්තියේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස පැමිණිල්ලට නියෝග කර තිබේ.
අනතුරුව එම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව නැවත ලබන 13දා කැඳවීමටද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත.
එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන (සුරේෂ්), ආර්.එම්.පී.කේ රාජපක්ෂ (නාදන්), එස්.එම් රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර් පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.
2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.










