හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක්, ගොනුකර තිබෙන ආකාරය අල්ලස් පනතට පටහැනි බව පවසමින් බල රහිතකර තිබේ.
2012 වසරේ මාර්තු මස 15 වැනිදා සිට එම වසරේ අප්‍රේල් මස 14 වැනිදා දක්වා කාල සීමාව තුළ, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ජංගම දුරකථනයේ බිල ලෙස රුපියල් දෙලක්ෂ තිස්දහසක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවීම හරහා රජයට පාඩුවක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අමාත්‍යවරයාට සහ එම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.
විත්තිකාර හිටපු අමාත්‍යවරයා සහ හිටපු සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මීට ඉහත අවස්ථාවක මූලික විරෝධතා ගොනුකරමින් සඳහන් කර ඇත්තේ මෙම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ ජනරාල්වරයා විසින් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාගේ ලිඛිත අනුමැතිය, අදාල නඩුව පැවරීමට අධිකරණය හමුවේ ගොනුකර නොමැති බවය.
කෙසේ වෙතත් අධිකරණය එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව විත්තිකාර පාර්ශ්වය විසින් මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකර ඇත.
එම ප්‍රතිශෝධන පෙත්සම අද(20) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවා තිබූ අතර එහිදී විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ නඩුවක් ගොනුකිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතිය ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය බව මෑතකදී අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කර ඇති බවත් මෙම නඩුව එම අවශ්‍යතාව සම්පූර්ණ කර නොමැති බැවින් බල රහිත නඩුවක් බවට පත්වන බවත්ය.
ඒ අනුව මෙම නඩු ගොනුකිරීම අල්ලස් පනතට පටහැනි බවත් මෙම තීරණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර අවශ්‍ය කටයුතු සඳහා යොමුකරන ලෙසත් නියෝග කර ඇත.










