අපරාධ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ ප්‍රකාශ මත රහස් පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එම අත්අඩංගුවට ගැනීම වලක්වමින් අපේක්ෂිත ඇපයක් මත තමා මුදාහරින ලෙසත් රාජිත සේනාරත්න මහතා අද(20) පස්වරුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබේ.
පුද්ගලයින් පැහැර ගැනීමට යොදාගත් සුදු වෑන් රථයක රියදුරෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් රත්‍රන් තොගයක් ප්‍රවාහනය කිරීමට දායවූවෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සමඟ රාජිත සේනාරත්න මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සිද්ධිය සම්බන්ධව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ සූදානමක් ඇතැයි රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව රාජිත සේනාරත්න මහතා ඊයේ(19) දිනයේ ද අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර තමා අත්අඩංගුවට ගැනීමට සූදානම්ව ඇත්තේ කුමන වරදක් සම්බන්ධව ද යන්න පැහැදිලිව දක්වා නොතිබීම හේතුවෙන් එම පෙත්සම, අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්ෂේප කළේය.










