රහස් පොලීසියේ අධ්‍යක්ෂක ධුරයේ සිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා දක්වා ස්ථාන මාරුවක් ලබාදීම මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුකර, ලබාදී තිබෙන ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
එම පෙත්සම ඉදිරිපත් කරමින් ශානි අබේසේකර මහතා පෙන්වා දී ඇත්තේ තමාට ලබාදී තිබෙන ස්ථාන මාරුව සාමාන්‍ය ස්ථාන මාරුකිරීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් සිදුකර ඇති අත්තනෝමතික ස්ථාන මාරුවක් ලෙසය.
එසේම ප්‍රභල දේශපාලනඥයන් කිහිපදෙනෙකු සම්බන්ධව සහ ආරක්ෂක අංශ නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ විමර්ශන ගණනාවක් සිදුකරමින් සිටීම මෙම ස්ථාන මාරුව ලබාදීම කෙරෙහි බලපෑමක් වී ඇතැයි ද ශානි අබේසේකර මහතා සඳහන් කර ඇත.
එසේම ජනාධිපතිවරණය අවසන් වූ වහාම තමා ස්ථාන මාරුකර යැවීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව ද ශානි අබේසේකර මහතා සඳහන් කරයි.
කිසිඳු සාධාරණ නීතිමය පදනමකින් තොරව ලබාදී තිබෙන මෙම ස්ථාන මාරුව මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඒ අනුව තමාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ශානි අබේසේකර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබේ. මීට අමතරව සිය මූලික අයිතිවාසිකම් කඩකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දියක් ද රජයෙන් අයකර දෙන ලෙස ශානි අබේසේකර මහතා ප්‍රකාශකර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ එම කොමිසමේ සාමාජිකයින්, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පසුගිය නොවැම්බර් මස 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටි ශානි අබේසේකර මහතා, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස ස්ථාන මාරුකර යවා තිබිණි.










