සතොසෙත් සහල් මිල වැඩියි… කිලෝ 1ක් රුපියල් 75කට දෙන්න පුළුවන්…

සතොසෙත් සහල් මිල වැඩියි… කිලෝ 1ක් රුපියල් 75කට දෙන්න පුළුවන්…

මේ වනවිට සතොසට නිකුත් කර ඇති සහල් තොග අනුව සහල් කිලෝ එකක් රුපියල් 75ක මුදලකට පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමේ හැකියාවක් තිබියදී සතොස මගින් පමණක් රුපියල් 84කට අලෙවි කරමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

වත්මන් සහල් අර්බුදයත් එහි මාෆියාවත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන්නේ වි තොග සහ සහල් තොග පාලනය කිරීම සඳහා ඊට අදාළ ක්ෂේත්‍ර ගණනාවකින් සමන්තවිතව පත් කර තිබූ කමිටුවද වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණි වහාම අහෝසි කර දැමූ බවයි.

වී තෝග සහ සහල් තොග පාලනය කිරීම සඳහා පිහිටුවා තිබූ එම කමිටුවට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, වී අලෙවිමණ්ඩලය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය, සමූපකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, පාරිභෝගික අධිකාරිය සහ ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව සිටි බවත් එයින් ක්‍රමානුකූලව සතොස ගබඩාවලට අවශ්‍ය ප්‍රමාණයට ඉතාමත් සාධාරණ මුදලකට සහල් නිකුත් කරමින් අදාළ මිල ගණන් තීරණය කරමින් අර්බුද ඇති නොවන ලෙස ක්‍රියාවලියක් ගෙන ගිය බවද ශක්ති සහල් නමින් සෑම සතොස අලෙවිසැලකම පසුගිය කාලයේ අලෙවි කරනු ලැබුවේද එම සහල් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එම කමිටුව අහෝසි කිරීමෙන් පසු වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ හිතවත් මෝල් හිමියන් වෙත එක වර කිසිම සමාලෝචනයකින් තොරව නාඩු රුපියල් 38ත් සම්බා රුපියල් 41කටත් ලබා දුන් අතර රතු නාඩු පමණක් රතු නාඩු වී මෙට්‍රික් ටොන් 25000ක පමණ ප්‍රමාණයක් එක වර සහල් බවට සැකසුම් කර ඇත.

ඒ අනුව රතු නාඩු සහල් මෙට්‍රික් ටොන් 16,000ක පමණ ප්‍රමාණයක් එකවර සතොස ගබඩාවලට යොමු කර ඇති අතර එම සහල් මේ වනවිට පරණවීමේ තත්වයක්ද උදාවී ඇති බවට නාමල් කරුණාරත්න මහතා අනතුරු අඟවයි.

මෙම සහල් දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් නැවතත් සතොස වෙත ලබා ගැනීමේදී රුපියල් 70ක මිලකට ලබාලෙග තිබෙන බවත් ඒ අනුව මෙම සහල් රුපියල් 84ට අලෙවියෙන් රුපියල් 14ක අධික ලාබයක් සතොස විසින් ලබාගනිමින් තිබෙන බව පෙන්වා දෙන නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ එම සහල් රුපියල් 75ක මිලකට ලබාදිය හැකි බවය. මහාපරිමාණ මෝල් හිමියාද මෙම සහල්වලින් රුපියල් 22ක පමණ ලාභය උපයන බවද මෙහිදී නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

නමුත් උක්ත සඳහන් කළ වී තොග සහ සහල් තොග පාලනය කිරීම සඳහා පිහිටුවා තිබූ එම කමිටුව ක්‍රියාත්මක වූවේනම් ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සතොසට මසකට අවශ්‍ය ටොන් 4000ක සහල් ප්‍රමාණය කිසිම නාස්තියකින් තොරව ලබාදීමට හැකිව තිබූ බවද නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

දැන් මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ලබා ගන්නා අලුත් සහල් නිකුත් කරමින් තිබෙන බවත් පරණ සහල් ගබඩාවල දිරාපත්වෙමින් තිබෙන බවත් සඳහන් කරන නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ මේ සිදුවෙමින් තිබෙන්නේ ඉතා ප්‍රබල මාෆියාවක් බවයි.

සහල් තොග පරණවූ පසු මහජන පරිභෝජනයට නුසුදුසු වූ විට ප්‍රසිද්ධියේ යම් ප්‍රමාණයක් විනාස කර පසුව වැඩි ප්‍රමාණයක් සහත්ව ආහාර සඳහා සහ රසායනික ද්‍රව්‍ය එකතු කර නැවත ජනතා පරිභෝජනය සඳහා නිකුත් කිරීමට වෙනත් ව්‍යාපාරිකයන්ට විකුනාදැමීමේ ක්‍රියාවලියක් සිදුවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙවැනි සිදුවීම් ගණනාවක් පසුගිය දිනවල මාධ්‍ය මගින්ද වාර්තා කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්