තමා අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරාත්න මහතා විසින් ඊයේ(19) අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.
පුද්ගලයින් පැහැර ගැනීමට යොදාගත් සුදු වෑන් රථයක රියදුරෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් රත්‍රන් තොගයක් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වූ බව කියන පුද්ගලයෙකු සමඟ මාධ්‍ය හමුවක් පැවැත්වීමේ සිද්ධියට අදාලව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව සඳහන් කරමින් රාජිත සේනාරත්න මහතා මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබිණි.
එය අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවා තිබූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ මෙම ඇප අයදුම්පත සඳහා නීතිමය පදනමක් නොමැති බවය.
එසේම ඇප අයදුම්පතේ දක්වා සිටි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.









