ඉන්දියාවේ නව පුරවැසි පනතට එරෙහිව ඊයේ පැවති විරෝධතාවකදී පුද්ගලයන් තිදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

ඉන්දියාවේ නව පුරවැසි පනතට එරෙහිව ඊයේ පැවති විරෝධතාවකදී පුද්ගලයන් තිදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

ඉන්දියාවේ පුරවැසි පනත සංශෝධනයට එරෙහිව ඊයේ(19) මංගලෝර් නගරයේ විරෝධතාවක් විසිරුවා හැරීමට ඉන්දීය පොලීසිය සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.

පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලදී හිංසනයට ලක්වී පලා ආ හින්දු, බෞද්ධ, කිතුණු, සික් වැනි සුළුතර ජන කොට්ඨාසවලට අයත් පුද්ගලයන්ට පුරවැසිභාවය පිරිනැමීම සඳහා ඉන්දීය මධ්‍යම රජය විසින්, ඉදිරිපත් කර ඇති නව පුරවැසි පනතට එරෙහිව මෙම විරෝධතා සිදුකෙරේ. මුස්ලිම් සංක්‍රමණිකයන් මෙහිදී නොසළකා හැර තිබීම මෙම විරෝධතා ඇතිවීමට මූලික හේතුව වී ඇත.

පුද්ගලයන් සිව් දෙනෙකුට වැඩි පිරිසක් එක් ස්ථානයක රැස්වීම ද ඉන්දියාවේ තහනම් කර ඇති අතර එම තහනම ද නොතකා ඉන්දියාව පුරා විරෝධතා ව්‍යාපාර දියත්වෙමින් තිබේ.

ඊයේ දින මියගොස් ඇති තිදෙනා වයස අවුරුදු 23ත් 49ත් අතර පසුවන පුද්ගලයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා තිබේ.

නවදිල්ලි අගනුවර, උත්තර් ප්‍රදේශ් සහ කර්නාටක ප්‍රාන්තයේ ස්ථාන රැසක විරෝධතා පැවැත්වීම තහනම් කරමින් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇත. එසේම නවදිල්ලියේ ඇතැම් ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් ද නවතා දමා තිබේ.

නව පුරවැසි පනතට එරෙහි විරෝධතා ආරම්භවී මේ වනවිට දින 8ක කාලයක් ඉක්ම ගොස් තිබේ. නව පනත මගින් මුස්ලිම්වරුන් පීඩාවට පත්කිරීමට නීත්‍යානුකූල පසුබිමක් නිර්මාණය කරන බවත් හින්දු ජාතිකවාදී නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ආණ්ඩුව සාමාන්‍ය නීතිය ඉක්මවායමින් සහ ජනතාව විරසක කරමින් කටයුතු කරන බව ඇතැම් විචාරකයන් චෝදනා කරයි.

Facebook
Twitter
LinkedIn