එළවළු ඇතුළු ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබෙන බවත්, එහෙත් රජයට ඒ සම්බන්ධයෙන් කළහැකි කිසිවක් නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පිළිබඳ සහ උසස් අධ්‍යාපන සහ නවෝත්පාදන සංවර්ධන අමාත්‍ය වරයාද වන බන්ධුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල ඇතැම් කාලවලදී විවිධ හේතු මත ඉහළ යන බවයි.
සම කැබිනට් ප්‍රකාශකවරුන් වන බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
මේ වනවිට හාල්, එළවළු සහ ළූණු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. අභ්‍යන්තර අභ්‍යන්තර වෙළඳ කටයුතු සහ පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ සඳහන් කර තිබුණේ එළවළු භාවිතා නොකර ඒ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා ලෙසයි. ඊටත් පෙර ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනතාවට උපදෙස් ලබාදී තිබුනේ මිලෙන් වැඩි එළවළු මිලදී ගැනීමෙන් වලකින ලෙසයි.










