වසර 99කට පසුගිය රජය විසින් චීනයට බදු දී තිබෙන හම්බන්තොට වරාය සම්බන්ධව තමන්ට ගැටලුවක් නැතැයි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කොළඹ ජනාධිපති කාර්යාලයේ විදෙස් මාධ්‍ය නියෝජිතයන් සමඟ අද(19) පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේබව පවසා ඇත.
චීන රජය සහ එවකට පැවති ශ්‍රී ලංකා රජය අතර පැවති සාකච්ඡාවලින් පසු මෙම ගිවිසුම අත්සන්කර තිබෙන බවත් එම වාණිජ ගිවිසුම වෙනස් කිරීමට තමා අපේක්ෂා නොකරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකාව සතුව තිබූ හම්බන්තොට වරාය චීනයට වසර 99ක් සඳහා බදුදෙමින් අත්සන් තබා ඇති ගිවිසුම් නැවත සමාලෝචනය නොකරන බවත් වරායේ ආරක්ෂාව සහ එහි නෞකා පාලනය කිරීම සම්බන්ධ කටයුතු ශ්‍රී ලංකාවට ලබාගතහැකි දැයි යන්න සම්බන්ධව කරුණු සොයාබලන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ඉන්දීය සංචාරයේදී සඳහන් කර තිබුනේ හම්බන්තොට වරාය වසර 99කට බදුදීම වරදක් බවත් ඒ සම්බන්ධව නැවත චීනය සමඟ සාකච්ඡා කළයුතු බවත් ය.










