පැය දෙකකට අඩු කාලයකින් මැරතන් ධාවන තරඟයක් අවසන් කරමින් අසමසම වාර්තාවක් තැබීමට එලියුඩ් කිප්චෝගේ නම් කෙන්යානු ජාතික ක්‍රීඩකයෙකු ඊයේ(12) සමත් විය.
එලියුඩ් කිප්චෝගේ මෙම අසමසම වාර්තාව තැබුවේ පැය 1යි මිනිත්තු 59 ක් සහ තත්පර 40 ක් ඇතුළත ය.
ඔස්ට්‍රියාවේ වියානා නගරයේ පැවති මැරතන් ධාවන තරඟයක දී කිප්චෝගේ මෙම වාර්තාව හිමිකර ගත්තේ ය.
මැරතන් තරගයක සම්මත දුර ප්‍රමාණය සැතපුම් 26.2188 ක් හෙවත් කිලෝමීටර 42.195ක් වන අතර මීට ඉහත හොඳම තරඟ කාලය ලෙස සටහන්ව තිබුනේ පැය 2 තත්පර 48 කි.
Ineos නම් රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාඟමක් විසින් මෙම තරඟය සංවිධානය කර තිබිණි.
එලියුච් කිප්චෝගේ මෙම තරඟ වාර්තාවට අමතරව නිල මැරතන් ලෝක වාර්තාවකට සහ ඔලිම්පික් මැරතන් ලෝක වාර්තාවකට ද හිමිකම් කියයි.
තරඟ ආරම්භයේ සිටම කිප්චෝගේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් කැපී පෙනෙන සුදු පැහැ බැනියමකින් සැරසී සිටි අතර ඔහු පැලඳ සිටි පාවහන් යුගල ද මෙම වාර්තාව තැබීමට රුකුලක් වන්නට ඇතැයි විචාරකයන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් කිප්චෝගේ සම්බන්ධ වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගේ අසීමිත කැපවීම හා ධෛර්ය මෙම වාර්තාව තැබීමට හේතු වූ බවය.










