පසුගිය සතිය සැළකීමේදී රාජ්‍ය දේපල අයථා පරිහරණය සම්බන්ධව ඉදිරිපත්ව ඇති පැමිණිලිවල ඉහළයාමක් පවතින බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මේ වනවිට මැතිවරණ පැමිණිලි 131ක් ලැබී ඇති බවත් ඉන් බහුතරය ප්‍රචාරක කටයුතු සම්බන්ධ පැමිණිලි බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
පලාත් පාලන ආයතනවල වාහන සහ දේපළ මෙන්ම අමාත්‍යාංශවලට අයත් වාහන සහ දේපල මැතිවරණ ව්‍යාපාරයේ යෙදවීම සම්බන්ධව පැමිණිලි රැසක් ඉදිරිපත්ව තිබෙන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධව ජනාධිපති අපේක්ෂකයන් සහ අදාල පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්, අමාත්‍යාංශ ලේකම්වරුන් වහා ක්‍රියාමාර්ග ගතයුතු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
කළුතර වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ගෝඨාබය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් තොගයක් එම ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය දා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරියේය. එසේම මාතලේ දිස්ත්‍රික්කයේ අමාත්‍යාංශ කිහිපයකට අයත් රථ වාහන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර සඳහා යොදවා ඇතැයි තොරතුරු ලැබී තිබෙන බව කැෆේ සංවිධානය සඳහන් කළේය.










