හෙට්ටිපොළ නගරයේ පවත්වාගෙන යන සති පොළ නවීන ලෙස නව ස්ථානයක ඉදිකිරීමෙන් පසු එය විවෘත කළද එහි වෙළඳාම් කටයුතු අත්හිටුවා ඇති බැවින් වෙළෙඳුන් මෙන්ම පාරිභෝගික ජනතාවද දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
එහි කඩකාමර බෙදා දීමේදී පොහොට්ටු පක්ෂයට බලය හිමි හෙට්ටිපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී.පී සුනිල් ජයවීර මහතා විසින් සිය දේශපාලන හිතවතුන් වෙත ලබාදී ඇති බවත් සාම්ප්‍රදායික වෙළෙඳුන්ට එහි කඩ කාමර අහිමිවී ඇති බවත් පවසමින් යම් පිරිසක් විසින් කුරුණෑගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සමේ අඩංගු කරුනුවලට අනුව අක්‍රමිකතාවක් සිදුව ඇත්ද යන්න පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසත් එම වාර්තාව ලබා දෙනතුරු පොළ භූමියේ වෙළඳාම් කටයුතු අත්හිටුවීමටත් නියෝග කරමින් කුරුණෑගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා එම සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියට අදාළව කඩිනමින් අදාළ වාර්තාව කුරුණෑගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු නොකර මැතිවරණ නීතියට මුවාවෙමින් වෙළඳුන්ට සහ පාරිභෝගිකයන්ට පොළ භූමියට ඇතුළු වීමට ඇති අවහිරතා ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් එම වෙළෙඳුන් බලධාරීන් හමුවේ ඉල්ලා සිටියද එය ඉටු නොවීම හේතුවෙන් මේ තත්වය සම්බන්ධයෙන් එහි වෙළඳ ප්‍රජාව පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික සංජීව කරුණාසාගර මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
එහිදී “හෙට්ටපොළ සතිපොළ එකමුතු වෙළඳ සංගමය” ලෙස සංවිධානයක් පිහිටුවාගෙන තිබෙන අතර ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් පළාත්පාලන කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ. ඒ අනුව ලබන බදාදා (16) දින පළාත්පාලන කොමසාරිස්වරයා සමග සාකච්ඡාවක්ද සිදුකිරීමට නියමිතය.
මෙය මැතිවරණ සමයක් බැවින් කුරුණෑගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා මැදිහත්ව ඇති අතර ඔහුගේ ලිඛිත නියෝගයේ සඳහන්ව ඇති පරිදි අදාළ වාර්තාව කඩිනමින් ඔහු වෙත යොමුකිරීමට අදාල ක්‍රියාමාර්ග ගන්නා ආකාරය සම්බන්ධයෙන් පළාත්පාලන කොමසාරිස්වරයා සමග සාකච්ඡා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවද පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික සංජීව කරුණාසාගර මහතා පැවසීය.










