කාලගුණ වෙනස්වීම් සහ ඊට දායකවන මිනිස් ක්‍රියාකාරකම් අවම කිරීම වෙනුවෙන් තම රාජ්‍ය නායකයන්ට බලපෑම් සිදුකරන ලෙස ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා මහජන නියෝජිතයන්ගෙන් සහ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වෙන ලෝක නගරාධිපති සමළුව අමතමිනි.
නිවරදි සහ ප්‍රායෝගික පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන ආණ්ඩු ප්‍රතික්ෂේප කිරීමට මහජනතාව කටයුතු කිරීම අතිශය වැදගත් බව මහලේකම්වරයාගේ අදහසවී තිබේ.
එසේම රැස්ව සිටි ලොව පුරා ප්‍රධාන නගරවල නගරාධිපතිවරුන් අමතා ඒ මහතා සඳහන් කර සිටියේ ලෝක කාලගුණ වෙනස හදිසි තත්වයක් සේ සළකා ක්‍රියාමාර්ග ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍යව ඇති බවය.
කාලගුණ වෙනස්වීම්, පසුගිය දිනවල ලෝක මට්ටමින් සාකච්ඡාවට බඳුන් වූ සුවිශේෂී මාතෘකාවක් විය. ලෝකයේ පෙනහළු බදු ඇමේසන් වනය ගිනි ගැනීම, ඕකේ ජෝකුල් ඇතුළු ග්ලැසියරයන් දියවී යාම, මහා බාධක කොරල්පරය මරණයට පත්ව ඇතිබව ප්‍රකාශයට පත්වීම මෙන්ම ලොව පුරා තරණ තරුණියන් සහ ශිෂ්‍යයින් එක්ව, කාලගුණ වෙනස්වීම්වලට ප්‍රශස්ත විසදුම් ඉල්ලා ලෝක නායකයන්ට බලකරමින් සිදුකෙරෙන උද්ගෝෂණ ව්‍යාපාර මෙම කතාබහ ඇතිවීමට හේතුවිය.










