සජිත් සහ ගෝඨාබයගේ ප්‍රකාශ සාධාරණ මැතිවරණ වටපිටාවට ගැලපෙන්නේ නැහැ

සජිත් සහ ගෝඨාබයගේ ප්‍රකාශ සාධාරණ මැතිවරණ වටපිටාවට ගැලපෙන්නේ නැහැ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතැම් අපේක්ෂකයන් විසින් සාධාරණ මැතිවරණ වටපිටාවට නොගැලපෙන කරුණු ඉදිරිපත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වනවිටත් බත්තරමුල්ල – පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස සහ ගෝඨාබය රාජපක්ෂ, අසත්‍ය සහ මවාපෑම් දිගින් දිගටම සිදුකරමින් සිටින බව සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඇක්සා, සෝෆා වැනි ගිවිසුම් අහෝසි කරන බවට සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවල පොරොන්දු ලබාදෙන්නේ, එම ගිවිසුම් අත්සන් කිරීමේදී ආණ්ඩු බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා ලෙස හිඳිමින් බව සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.

ගෝඨාබය රාජපක්ෂ මහතා රටේ විනය සම්බන්ධව සහ ආර්ථිකය සම්බන්ධව ප්‍රකාශ සිදුකරන වේදිකාවල, පවතින රජයේ චෝදනා එල්ලවී ඇති අමාත්‍යවරු ද සිටින බව සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කලේය.

අද (13) පෙරවරුවේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අහදස් දැක්වූ සුන්ලි හඳුන්නතේති මහතා…

“මෙම මාධ්‍ය සාකච්ඡාව අද අපි කරන්නේ ජනාධිපතිවරණය සමග මතුවෙලා තියෙන කරුණු කිහිපයක් හා අපේ ස්ථාවරය රටට පැහැදිලි කරන්න. මෙතෙක් කල් තිබූ ජනාධිපතිවරණවලදී ඡුන්දෙ ඉල්ලූවේ ජනාධිපතිතුමා ජනාධිපති කරන්න කියලා. ආණ්ඩුවට වාසිදිනක තමයි ඉන්න ආණ්ඩුව මැතිවරණ දිනය තීරණය කරන්නේ. ජේ.ආර්. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා ජනාධිපතිවරු තමයි ජනාධිපතිවරණ දිනය තීන්දු කළේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසමට එම බලය දීල තියෙන්නේ. එනිසා ප‍්‍රථම වතාවට ජනාධිපතිවරණ දිනය මැතිවරණ කොමිසම විසින් තීන්දු කර තියෙනවා. ජනතාවට යම් ස්වාධීනත්වයක් එක්ක මේ සැරේ ඡුන්දය දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක විශේෂ දෙයක්. ඒවගේම ජනාධිපතිවරණ කටයුතු බාර නිලධාරීන්, පොලිසිය ඊට සහාය දිය යුතුයි.

අද එක් පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ට කිසි දිනෙක ඉටුකරන්න බැරි ඉටු නොකරන පොරොන්දු ජනතාවට දීගෙන යනවා. බොරු කප්පරක් ඇද බානවා. ආසියාවේ ආශ්චර්යය, සුබ අනාගතයක්, මාස හැටෙන් අලුත් රටක් කියාගෙන තමයි පසුගිය හැම ආණ්ඩුවක්ම බලයට ආවේ. ජනාධිපතිවරයා පත්වුණේ එවැනි සුරංගනා කතා කියාගෙන. අද ජනතාව ණය බරින් අතිශයින් පීඩාවට පත්වෙලා. දැන් සජිත්ලා, ගෝඨාභයලා ටොන් ගණන් සුරංගනා කතා කියනවා. ඒවා අහන කොට අපිට හිතෙනවා මෙතෙක් කල් ආණ්ඩුකරලා තියෙන්නේ අපි ද කියලා. ජනාධිපතිකම කරලා තියෙන්නේ අනුර සහෝදරයාද කියලා.

දැන් ගිවිසුම්ගැන සජිත් කියන දේ බලන්න. තමන් බලයට ආවොත් ඇක්සා, සෝෆා, වැනි ගිවිසුම් ඒවගේම සිංගප්පූරු ගිවිසුම නැවත පරීක්ෂා කරලා රටට හානිකර නොවන අන්දමට සකස් කරනවා කියලා, සජිත් කියනවා. සජිත් දැන් උපාසකයා වගේ මේවා කියන්නේ. සජිත් කියන්නේ එජාපයේ උප නායකයා. ඔහු මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්. එතකොට මේ ආණ්ඩුවේම ඇමතිකම් දරන මලික් සමරවික‍්‍රමල වගේ අය අත්සන් කරපු මේ ගිවිසුම් ගැන ඔහු මොකක්වත් දන්නේම නැද්ද? සජිත් කතා කරන්නේ එයා මේ ගිවිසුම් දැකල තියෙන්නෙ දැන් වගේ.

ගෝඨාභය දැන් කියාගෙන යනවා, ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරිනවා, ගොවියන්ට පොහොර සහනාධාරය දෙනවා, නොමිලේ පොහොර දෙනවා, විනය හදනව වගේ කතා. එහෙම කියනකොට ඔහුගේ වේදිකාවේ ඉන්නේ කවුද? මේවා විනාශ කළ මිනිස්සු නොවෙයි ද? ජනතාවගේ දේපළ හොරකම් කරපු මිනිස්සු නොවෙයිද? මේව කියනකොට මෙතෙක් කල් රට පාලනය කළේ අපිද, ඇමතිකම් කලේ අපිද, කියල අපිට හිතෙනවා. මේක සම්පූර්ණ මවා පෑමක්.

මහබැංකු අධිපතිතුමා කියනවා 2018 දී 3.7%ක් වෙච්ච ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේ මේ වෙනකොට 1.4%ට බැහැලා කියලා. අවුරුද්දක් ඇතුළත තමයි මේ සා විශාල විදිහට ආර්ථිකය කඩන්වැටිලා තියෙන්නේ. අද ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන ලක්ෂ විසිඅටකට වැඩි පිරිසක් අමාරුවේ වැටිලා ඉන්නවා. ඒ අතර, කාන්තාවෝ භාගයක් විතර ඉන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැන මහාබැංකුව නිසි පරිදි නියාමනය කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට රුපියල් 5000/ක් ණය දුන්නොත්, ඒක රුපියල් 100/ ගානෙ වාරික හැටකින් ගෙවන්න ඕනෑ. පොලී අනුපාතය 60%ක් වෙනවා. මේව හරියට නියාමනය වෙන්නේ නෑ.

කුඩා සුළු හා මධ්‍යම ප‍්‍රමාණයේ  ව්‍යාපාරිකයන් තමයි අද ඉතාම අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ. ඔවුන් මූල්‍ය ජාවාරම්කරුවන්ගේ උගුලට අහුවෙලා. ගෝඨාභය රාජපක්ෂ කියනවා, මේ ණය කපාදමනවා කියලා. එයා ඒක කරන්නේ කොහොමද? ඒ සඳහා රුපියල් බිලියන 100ක් ඕනෑ. පොහොර සහනාධාරය දෙන්න බිලියන 400ක් ඕනෑ. ඔහු තවත් කියනවා 20%කින් බදු කපා හරිනවා කියලා. ඊට බිලියන 400ක්  ඕනෑ. කොහෙන්ද මේවා හොයාගන්නේ. ඒකට ඔහු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ. ණය වාරිකයේ පොලිය ගෙවා ගන්නවත් බැරි රටක ඉඳන් තමයි ඔහු මේවා කියන්නේ.

මෙම ගැටලු විසඳන්න එකම ක‍්‍රමයයි තියෙන්නේ. අලුතින් වත්කම් එකතුවන ආර්ථිකයක් රටේ ගොඩනගන්න ඕනෑ. ඒ සඳහා නිවැරදි වැඩපිළිවෙළක් ප‍්‍රායෝගිකව වත්කම් එකතුවන යාන්ත‍්‍රණයක් හදන්න ඕනෑ.

අපි මේ රටේ මධ්‍යස්ථ ජනතාවගෙන් ප‍්‍රශ්නයක් අහනවා. සජිත් ජනාධිපති වුණොත් ඒකෙ අගමැති රනිල් නොවෙයිද? ඔහුගේ කැබිනට් එකේ ඉන්නේ රවි කරුණානායක, රාජිත, මලික් සමරවික‍්‍රමල වගේ කට්ටිය නොවෙයිද? එනිසා සජිත් ජනාධිපතිවෙලා මේ ආර්ථිකය හදනවා කියන එක තනිකර මිථ්‍යාවක්. දැන් තවත් බොරුවක් කියාගෙන යනවා. ගෝඨාභය ආවොත් අති භයානකයි, ඒ නිසා ඔක්කොම එකතුවෙලා සජිත්ව දිනවන්න කියලා. අපි ජනතාවට කියනවා මේ දෙගොල්ලොම එකම කඳවුරේ අය. මේ දෙගොල්ලන්ගෙන් කවුරු ආවත්, අර්ජුන් මහේන්ද්‍රලාට දඬුවම් දෙනවාද? නැහැ. මේගොල්ලෝ බලයට ආවොත්, ඒගොල්ලන්ගේ ප‍්‍රශ්න නම් විසඳා ගනීවි. මේ බොරුවට නැවතත් අහුවෙන්න එපා, කියලා අපි රටේ ජනතාවට කියනවා.

2015 දී යහපාලනය ගැන, දූෂිතයන්ට දඬුවම් දීම ගැන ලොකු සාකච්ඡාවක් ගියා.හැබැයි මේ ඡන්දෙදි මේ දෙගොල්ලන්ගෙන් කවුරුවත් ඒ ගැන කතා නැහැ. ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර සහෝදරයා විතරයි ඒගැන කතා කරන්නේ. මේ ගොල්ලෝ ගසා කාපුවා අනිවාර්යයෙන් අයකර ගන්නවා කියලා ඍජුව රටට ප‍්‍රකාශ කරන්නේ අනුර සහෝදරයා විතරයි. අර දෙගොල්ලෝ ඒක කතාකරන්නේ නැත්තේ ඔවුන්ගේ වේදිකාවල හිටපු හොරුයි, ඉන්න හොරුයි ඔක්කොම ඉන්න නිසා. ඒ ගොල්ලන්ට ඒගැන කතා කරන්න බැහැ. මේ දෙපැත්තේම ඉන්නේ දෑත් ශක්තිමත් කරන්න කියලා ඒ පැත්තට, මේ පැත්තට පැන්න එකම හොරු කණ්ඩායම. මේව කතාකරන්න පුළුවන් සහ කතා කරන එකම බලවේගය තමයි ජාතික ජන බලවේගය. කිසිම පැකිලීමක් නැතිව ඒව කතාකරන්න පුළුවන්, ඒවගේම කතා කරන එකම නායකයා, මේ ජනාධිපතිවරණයට මාලිමාව ලකුණින් ඉදිරිපත්වෙලා ඉන්න අනුර දිසානායක සහෝදරයා පමණයි. අදූෂිත දේශපාලනයේ සන්නාමය කියලා ඔහු ගැන අපි බයනැතිව කියනවා. එහෙම කියන්න ගෝඨාභයට පුළුවන්ද, සජිත්ට පුළුවන්ද, බැහැ.

දැන් තව කතාවක් කියාගෙන යනවා. ගෝඨාභය පාර්ලිමේන්තුවට පිටින් ගෙනාපු කෙනෙක් ලු. ඒ නිසා ඔහු පාර්ලිමේන්තුව ඇතුළේ දූෂිත නොවිච්ච කෙනෙක් ලු කියලා. පිටින් ආපු මිනිහට මෙච්චර නඩු නම්, ඔහු ජනාධිපති වුණොත් කොහොමට හිටීද? සජිත්, ගෝඨාභය දෙන්නාම ජනතාවට ඔවුන් කළ සහ ඔවුන්ගේ පාර්ශ්වයන් කළ, විනාශයට වගකියන්නේ නැහැ. දඬුවම් දෙන්නේ නැහැ. අද වනවිට දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය ආයතන සියල්ලම විනාශයට ඇද දමලා. විදුලි බලමණ්ඩලයෙන් රුපියල් කෝටි 900ක් වසරකට පාඩුයි. තෙල් සංස්ථාවෙන් කෝටි 10,400ක් පාඩුයි. ජල සම්පාදන මණ්ඩලයෙන් මිලියන 568ක් පාඩුයි. මේ සියල්ලම දේශපාලනීකරණය වෙච්ච ආයතන. අනුර සහෝදරයාගේ නායකත්වයෙන් පත්වෙන ආණ්ඩුවක අපි මේවා නිර්දේශපාලනීකරණය කරනවා. එම ආයතනවලට නිලධාරීන් පත්කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් පිහිටුවනවා. ඒකට පත්කරන්නේ ඒ ඒ ක්ෂේත‍්‍රවල ප‍්‍රවීන, දැනුම තියන, ස්වාධීන අය. ගුවන් සේවා අමාත්‍යාංශයට පත්කරන්න ඕනෙ එකම සුදුසුකම, මස්සිනාකම නොවෙයි.

ඉදිරි පාර්ලිමේන්තුවට ජනතාවට වගකියන අය තෝරා යැවිය යුතුයි. අපේ ආණ්ඩුවක් යටතේ අපි කොමිසමක් පත්කරලා රාජ්‍ය නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරු ඒ මගින් තමයි පත්කරන්නේ.ඒ කොමිසමේ නිර්දේශ අනුව තමයි කටයුතු කරන්නේ. අපි අභියෝග කරනවා මේ ගැන පුළුවන්නම් සජිත්ගේ සහ ගෝඨාභයගේ අදහස රටට කියන්න කියලා. ඒ අය ලෑස්තිද ස්වාධීන යාන්ත‍්‍රණයක් හදන්න කියලා.දේශපාලන හෙංචයියන් රාජ්‍ය ආයතනවල හා අමාත්‍යාංශවලට පත්කරන්නේ නැහැ කියලා, පුළුවන් නම් රටට කියන්න. රාජ්‍ය ආයතනවල මුදල් හා සම්පත් පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ  පෞද්ගලික බූදල් වගේ. එම ආයතනවල වාහන තමයි ඇමතිවරුන්ගේ ගෙදර අය නිලධාරීන්ගේ ගෙදර අය ගමන් බිමන් යොදා ගන්න පාවිච්චි කරන්නේ. ඇමතිට, ඔහුගේ යාළුවන්ට, බිරින්දෑවරුන්ට පාවිච්චි කරන්න දෙන්නෙත් ඒවා. අපි මේක සම්පූර්ණයෙන්ම නවත්වනනවා. පුළුවන්නම් ගෝඨාභය හෝ සජිත් හරි මේක නවත්වනවා කියලා රටට කියන්න.

ජනතාව දැන් නිවැරදි වෙන්න ඕනෑ. නිවැරදි තීන්දුවක් ගන්න ඕනෑ. නිවැරදිව ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ. රාජ්‍ය යාන්ත‍්‍රණය සුද්ද කිරීමේ තීරණාත්මක බලය තියෙන්නේ ඔබ අතේ. ඒ සඳහා මෙම ජනාධිපතිවරණයේදී අදූෂිත නායකයෙක්, තෝරා ගන්න දෙවරක් නොහිතා ඉදිරියට එන්න. අනුර දිසානායක සහෝදරයා වටේ දූෂිත වලළ්ලක් නැහැ. අනුර සහෝදරයා ඉන්නේ ඒ දූෂිත වලළ්ල බිඳින, ඊට ප‍්‍රතිවිරුද්ධ කඳවුරේ.

ආර්ථිකය ගැන පැහැදිලි ඉදිරි දැක්මක් මේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරලා තියෙන්නේ, අනුර සහෝදරයා විතරයි. මේ වෙනකොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පන්න පන්න බදු ගහලා, ඔවුන්ව බිංදුවට වට්ටලයි තියන්නේ. වැඩිම ණය නොගෙවූ දහදෙනා කෝටි තුන්දහස් හත්සියයක් රජයට පොලු තියලා තියෙන්නේ. ලක්ෂ පහක් ගෙවා ගන්න බැරි සුළු ව්‍යාපාරිකයාව අවුරුදු ගණන් හිරේ යවනවා.  ඕක තමයි ඇත්ත තත්වය.

‘සංචාරක පොඞ්ඩා’ කියලා ‘එන්ටප‍්‍රයිසස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ සංචාරක කර්මාන්තයේ නියැළිලා ඉන්න සුළු ව්‍යාපාරිකයන්ට අත දෙන්න කියලා වැඩසටහනක් හැදුවා. දැන් මොකද වෙලා තියෙන්නේ. පොඩ්ඩා වෙනුවට ලොක්කා හැදිලා. අවශ්‍ය අය ණය ඉල්ලුවාම බැංකුව කියනවා අපිට උපදෙස් දීල නැහැ කියලා, ඔබලට ණය දෙන්න. ඔවුන් සංචාරක පොඩ්ඩා ව්‍යාපෘතිය යටතේ ණය ගන්න ගියාම බැංකු නිලධාරීන් කියන කතාව තමයි ගඩොල් කපන කර්මාන්තයක්වත් කරනවා කියලා ණය ඉල්ලුම් පත‍්‍රය දාන්න කියලා. මේ ව්‍යාපෘතිය අමු මිථ්‍යාවක්. ඒකෙන් ණය දීලා තියෙන්නේ දේශපාලන හිතවතුන්ට පමණයි.

අපේ වැඩපිළිවෙළ මගින් අපි නොබිඳිය හැකි ආර්ථිකයක් ජනතාවට ගුණාත්මක ජීවිතයක් ගොඩනගලා දෙනවා කියලා අපි සහතික වෙනවා. ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හරහා ශක්තිමත් ආර්ථිකයක්, ජනතාවට ගුණාත්මක ජීවිතයක්, කියන ප‍්‍රතිපත්තියද අපි රටට හඳුන්වල දෙනවා. අද  පාරිභෝගිකයා එක පැත්තකින් බඩු මිල නිසා පීඩාවට පත්වෙලා. තව පැත්තකින් ප‍්‍රචාරණය නිසා පීඩාවට පත්වෙලා. තව පැත්තකින් වස විෂ නිසා පීඩාවට පත්වෙලා. දැන් තියෙන්නේ විකිණීම අරමුණු කොට ගෙන රැවටීම පමණයි. අපි නිෂ්පාදකයා හා පාරිභෝගිකයා රකින නිෂ්පාදන ආර්ථිකයක් හදනවා. ඒ සඳහා නවීණ තාක්ෂණයත් උපයෝගී කර ගන්නවා.

තවත් විශේෂ දෙයක් ගැන සඳහන් කරන්න ඕනෑ. මේ ළඟකදී මහ බැංකු අධිපතිතුමා කිව්වා, මහ බැංකු වංචාව ගැන ව්‍යවහාරික විගණනයක් කරලා තියෙනවා, ඒකෙ වාර්තාව රටට හෙළිකරනවා කියලා. අපි එතුමාගෙන් ඉල්ලන්නේ වෙච්චරයි. මේ වාර්තාව ජනාධිපතිවරණය අවසන් වෙන්න කලින් රටට ප‍්‍රසිද්ධ කරන්න කියලා. එතකොට පුළුවන් මහ බැංකුවේ මුදල් හොරා කෑවේ කවුද කියලා ජනතාවට දැනගන්න.  එහෙම කරන්න පුළුවන්, එහෙම කරන සදාචාරයක නොවෙයි මේ ආණ්ඩුකරන අය ඉන්නේ. අපි හොඳටම දන්නවා අර වාර්තාව ඡන්දෙට කලින් දෙන්නේ නැහැ කියලා.

මේ රටේ පොදු ජනතාව බදු ගෙවනවා. කම්කරුවා, ගොවියා මහන්සි වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ඉතා අමාරුවෙන් තම ව්‍යාපාර කරලා ආණ්ඩුවට බදු ගෙවනවා. නමුත් කිසිවක් නොකර මේ අධිපති පක්ෂවල දේශපාලුවන් ඔවුන් උපයන දේවල් අමු අමුවේ වංචා සහගතව කොල්ල කනවා.  2002 සිට සිද්ධවෙච්ච මහ බැංකු බැඳුම්කර වංචාව මේ මහා කොල්ලයට හොඳම නිදසුනක්. මේ දෙගොල්ලන්ගේ මෙතෙක් කල් දේශපාලන වාර්තාව බැලුවාට පස්සේ මොවුන්ට නැවත බලය නොදෙන්න ඒක හොඳටම ප‍්‍රමාණවත්. ඒනිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දෙවරක්  නොසිතා මේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාව ජයග‍්‍රහණය කරවන්න කියලා.”

Facebook
Twitter
LinkedIn