සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීසේ අරමුණෙන් මහානායක හිමිවරු ඇතුළු පූජ්‍ය පූජක නායකයන් විසින් දේශපාලන පක්ෂවලට හා නායකයන් වෙත පසුගියදා ඉදිරිපත් කළ “ශ්‍රී ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදා කරගැනීම උදෙසා” යනුවෙන් සඳහන්ව සුදුසුකම් ඇති මැතිවරණ අපේක්ෂකයන් තෝරා පත්කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් හා මහ ජනතාව වෙත ඉදිරිපත් කරනු ලැබූ නිදේශාවලියට අනුව සුදුසුකම් ඇති එකම නායකයා අනුර කුමාර දිසානායක මහතා බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උධිත හිමියෝ පවසති.
ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උධිත හිමියෝ මේ බව පැවසූවේ “සුපිළිපන් දේශපාලනයක අපේක්ෂාව” මැයෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක
අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයට මහා සංඝරත්නයේ ආශිර්වාද එක් කිරීමේ මහ සඟ සමුළුව අමතමිණි.
එම සමුළුව සඳහා භික්ෂු භික්ෂුනීන් වහන්සේලා බොහෝ පිරිසක් වැඩම කරනු ලැබ සිටියහ.
“අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට කිසිසේත්ම ආගම හෝ ජාතිය උපයෝගි කරගන්නේ නැහැ.” යැයි එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා මහා සංඝරත්නය ඉදිරියේ සපථ කර සිටියේය.
“ගල් පිළිම යටපත් වෙලා බොල් පිළිම උඩට ආපු තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබෙනවා.
බොහෝ දේශපාලකයින්ට අපේ ඓතිහාසික උරුමය තමන්ගේ දේශපාලන වේදිකාවේ දේශපාලන සටන් පාඨයක් බවට පත් කරගෙන තිබුණාට ඒ මත පදනම්ව අපේ රට ඉදිරියට ගෙනියන්න බැරි වුණා.
උත්සාහවන්ත වෙන්න ධෛර්යවන්ත වෙන්න කියලා, කියලා දෙන්නේ ජාතක කතාවෙන්.
ඉවසන්න, අනෙකාට ආදරය කරන්න කියලා, සමාජයේ පුරවැසියෙකු ලෙස ඉන්න විදිහ කියලා දෙන්නේ ජාතක කතාවෙන්.
පාලකයා කරන දේ තමයි තමන්ගේ අසාර්ථක භාවය කඩඉමට ගියාට පස්සේ මේ ආධ්‍යාත්මය අවුස්සනවා.
සිංහල ජනතාව අනතුරට ලක්වෙලා තියෙන්නේ අපේ ආධ්‍යාත්මය අවුස්සලා.
ඔවුන්ට ආර්ථිකය ගොඩ නැඟුවා කියලා, ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ස්ථාපිත කළා කියලා, රට සමෘද්ධිමත් රාජ්‍යක් කරා කියලා, සාකච්ඡා කරන්න බැහැ.
ඒ නිසා තමා කියමනක් තියෙන්නේ “තක්කඩියාගේ අවසන් නවාතැන්පොල ජාතිවාදය, ආගම්වාදය” කියලා.
සංඝයා වහන්සේලා ඉස්සරහා අපි සපථ කරනවා, අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට කිසිසේත්ම ආගම හෝ ජාතිය උපයෝගි කරගන්නේ නැහැ.”
වැහැරුණු අසාර්ථක දේශපලනය වසා ගැනීමේ ලෝගුවක් බවට අද වනවිට ජාතිවාදය හා ආගම්වාදය පත්ව ඇති බවත් මෙහිදී ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.










