“මාලිමාව” රටට වගකියන ජාතියට මඟ කියන ලකුණයි

“මාලිමාව” රටට වගකියන ජාතියට මඟ කියන ලකුණයි

“අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ රටට මග කියන ජාතියට වගකියන අතරමංවෙලා තිබෙන මේ ලංකාව නිවැරදි දිශාවට ගැනීම සඳහා වෙච්ච රට නිවැරදි මගට ගෙන යන ඒ ලාංඡනය “මාලිමාව” කරගෙන මැතිවරණයට තරග කරන්නේ. මාලිමාව රටට වගකියන, ජාතියට මඟකියන ලකුණයි. ඒ ලකුණ යටතේ තමයි මේ මැතිවරණයට අපි තරග වදින්නේ.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා…

“පසුගිය අවුරුදු 71 රට පාලනය කළේ ශ‍්‍රී ල.නි.ප.ය හා එ.ජා.ප. ආණ්ඩුයි. අපි නිදහස ලබනවිට ආසියාවෙන් අපි දෙවෙනි තැන. එදා ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් අනූවයි. අපේ ඒකපුද්ගල ආදායම ඩොලර් අසූනවයයි. දකුණු ආසියාවේ සියලුම රටවල් සිටියේ අපට පහළින්.

නිෂ්පාදනය කඩා වැටුණා. අපනයනය අඩු වුණා. ආනයනය වැඩි වුණා. වෙළඳ ශේෂය පුළුල් වුණා. මේ වනවිට සමස්ත ණය ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 83%ක් වෙලා. මේ වෙනකොට රුපියල් කෝටි 12,00,000ක් අපි ලෝකෙට ණයයි. ජනතාව මත ඒ ණය බර පටවලා. ජනාධිපතිවරයා නෙළුම් කුළුනේ ඉඳන් කිවුවා, එයට ගත්ත ණය විතරක් කෝටි 1600ක් කියල. ඒ වගේම කෝටි 200ක් ආගිය අතක් නැහැ. ඒව පිල්ලි ගහල කියල කිවුව. රාජපක්ෂ පාලනයට තමයි, එතුමා චෝදනා කළේ. අපේ රටේ ණය කන්ද නෙළුම් කුළුන උඩට ගියාම පේනවා. ඒකට ගත්ත ණයවලට අවුරුද්දකට රුපියල් කෝටි 240ක් ආපසු ගෙවන්න ඕන. 2018 රුපියල් කෝටි දසලක්ෂ 5450ක් අපි ණය වාරිකය ගෙව්ව. රුපියල් කෝටි ලක්ෂ 2ක් අවුරුද්දකට ගෙවනවා. මේ ආර්ථික ප‍්‍රපාතයට අපිව ඇද වැට්ටුවේ එ.ජා.ප. ආණ්ඩු හා ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රමුඛ ආණ්ඩුයි. අවසානයේදී රට පාලනය කළේ මේ දෙකම එකතු වෙලා.

ඒ නිසා ශ‍්‍රීල.නි.ප.ය හා එ.ජා.ප. දෙකේම පවුල් පාලනය ගැන අටුවාටීකා ඕන නැහැ. ජනතාව හොඳට දැකල තියෙනව. ඒ නිසා තමයි රටේ ජනතාව මීට එරෙහි විකල්ප දේශපාලන නායකත්වයක් ඉල්ලා සිටින්නේ.

අද ගත්තොත් මේ ජනාධිපතිවරණය තමයි, රටේ ඊළඟ අනාගත දේශපාලන මාවත තීරණය කරන්නේ. කොයි පැත්තට රට යනවද කියල තීරණය වෙන්නෙ නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයත් එක්ක. අද ශ‍්‍රී ල.නි.ප.ය පැත්තෙන් ගත්තොත් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂව අපේක්ෂකයා විදිහට නම් කළා. ශ‍්‍රී ල.නි.ප.ය පසුගිය දවස්වල කරගන්න දෙයක් නැතිව අනාථවෙලා අසරණ වෙලා අතරමංවෙලා හිටියෙ. කාටද සහාය දෙන්නෙ කියල තීරණයක් නැතිවයි හිටියෙ. අවසානයේදී ඊයේ පෙරේදා ශ‍්‍රී ල.නි.ප.යත් පොදු ජන පෙරමුණත් එකට එකතු වුණා. මේක අලුත් දෙයක් නොවයි. ඇත්තටම සිදුවුණේ ශ‍්‍රී ල.නි.ප.ය රාජපක්ෂ පවුල් පාලනයත් එක්ක එකතු වුණ එක. බණ්ඩාරනායක පවුල් පාලනය, රාජපක්ෂ පවුල් පාලනයට රූපාන්තරණය වුණා. ඒ නිසා අද ශ‍්‍රී ල.නි.ප. පාක්ෂිකයාට තමන්ගේ කියල කියන්න තමන්ට අනන්‍ය වූ පක්ෂයක් නැහැ. දැන් ශ‍්‍රීල.නි.ප.ය රාජපක්ෂ පවුල් කණ්ඩායම අතර දියවෙලා, බොඳවෙලා ඉවරයි.

මේක අලුත් දෙයක් නොවෙයි. 2015ට පෙර මේ දෙගොල්ලොම හිටියෙ එකට. එක වේදිකාවෙ. එක ප‍්‍රතිපත්තියෙ. රාජපක්ෂ පාලනය එදා පවත්වාගෙන ගියේ. එක්සත් ජනතා සන්ධානය. එහිදී ශ‍්‍රී ල.නි.ප. සභාපති වූයේ මහින්ද රාජපක්ෂ මහත්මය. පසුව ඔහු එහි අනුශාසක වුණා. ශ‍්‍රී.ල.නි.ප.ය දෙකට බෙදුණා. කෑලි 2ක් වුණා. නැවත දැන් එකට එකතු වුණා. එහිදී ශ‍්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කිහිප දෙනෙක් එ.ජා.ප.යට ගියා. රෝහිත බෝගොල්ලාගම, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න ඒ වගේ ශ‍්‍රී ල.නි.ප.යේ වගකීම් දරපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අද එ.ජා.ප.යේ. මේක විහිළුවක්, විජිතමුණි සොයිසා කටාන එ.ජා.ප. සංවිධායක එයාගෙ පුතා බිබිලෙ ශ‍්‍රී ල.නි.ප. සංවිධායක. මේ සුපුරුදු සෙල්ලම තමයි හැමදාම සිදුවුණේ. අද සිද්ධ වෙන්නෙත් ඒකමයි. එනිසා මේ පක්ෂ දෙක එකතුවෙලා කියල අලුත් වෙනසක් නැහැ. කලින් එකට ඉඳල වෙන්වෙලා නැවත එකතුවීම පමණයි සිද්ධ වුණේ.

ඔබ දැක්කා දුමින්ද දිසානායක, හිටපු ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාලත් වාඩි වෙලා ඉන්දැද්දි මහින්ද රාජපක්ෂ මහත්තය කියනවා පසුගිය අවුරුදු 04ට කෘෂිකර්මාන්තය විනාශ කළා. ප‍්‍රවාහනය විනාශ කළා කියලා. ඒව කියනකොට අරගොල්ලොත් එකම වේදිකාවෙ වාඩිවෙලා හිටියා. ඒ ගොල්ලො තමයි පසුගිය කාලෙ මේ අමාත්‍යාංශ කළේ.

කෘෂිකර්මාන්තය විනාශ කළා නම් ඒ වගකීම දුමින්ද දිසානායක හිටපු ඇමතිවරයට තියෙනවා. ප‍්‍රවාහනය විනාශ කළා නම් වගකීම නිමල් සිරිපාලට තියෙන්නෙ. ඒ නිසා මේ එකතුව තුළ කිසිම අලුත් දෙයක් නැහැ. රාජපක්ෂ පවුල් පාලනයට අර කට්ටියත් එකතු කරගන්න එක විතරයි මෙතන සිද්ධ වුණේ.

දැන් එ.ජා.ප.ය පැත්තෙන් ගත්තොත් සජිත් අපේක්ෂකයා ලෙස නම් වෙනකොට එ.ජා.ප. පාක්ෂිකයෝ හිතුව දැන් යූ.එන්.පීය අලුත් වුණා. රනිල්ගෙ පාලනය ඉවරයි. සජිත්ගෙ නව නායකත්වය යටතෙ පමණයි පක්ෂය ඉස්සරහට යන්නෙ කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඔබ කවුරුත් දන්නව සජිත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරල සම්මේලනයක් තියල යෝජනා 6ක් ගෙනල්ල එයාව අපේක්ෂකයා කළා. ඒ යෝජනා 6 නිශ්චිතව සඳහන් වෙනවා. පසුගිය සම්මේලනයේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරනව රනිල් නායකයා කියල. ඔහු දිගටම පක්ෂ නායකයා විදිහටත් අගමැති විදිහටත් ඉන්නව කියල තීන්දු කරනවා. සජිත් ජනාධිපතිවරයා වූ පලියට අගමැති රනිල් ඇතුළු මේ රට ආර්ථිකව වට්ටපු දූෂිතයන් කණ්ඩායම එහෙමම ඉන්නවා. ඔවුන් තමයි ඉස්සරහට යන්නෙ.

සජිත් වැරදිලාවත් දිනුවත් මෛත්‍රීට තිබූ බලතලවත් එන්නෙ නැහැ. මොකද 19 සංශෝධනය අනුව ඉතා පැහැදිලියි, නොවැම්බර් 16 පත්වන ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලයේ කිසිදු අමාත්‍ය ධුරයක් දරන්න බැහැ. ඔහු කැබිනට් එකේ ප‍්‍රධානියා. ආණ්ඩුවේ නායකයා. සේනාධිනායකයා. හැබැයි කිසිදු අමාත්‍යාංශයක වගකීමක් දරන්න බැහැ. දැන් මෛත්‍රී ආරක්ෂක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය, යන අමාත්‍යාංශ තුනක වගකීම දරනවා. ආරක්ෂක අංශය පවත්වාගෙන යද්දි එතුමාට යම් හැකියාවක් තිබුණා වෙනත් අමාත්‍යාංශයක කොටසක් ඕන වෙලාවක තමන් යටතට පවරා ගන්නට. ඒ අනුව තමයි ජාතික රූපවාහිනිය ගත්තෙ. ඒ අනුව තමයි ගැසට් ගහන්න ඕනවෙන රජයේ මුද්‍රණාලය පවර ගත්තෙ. ඒ අනුව තමයි පොලිසිය තමන්ට ඕන වුණාම තමන් යටතට ගත්තෙ.

නමුත් ඊළඟ ජනාධිපතිට ඒ සෙල්ලම් දාන්න බැහැ. ඉතා පැහැදිලිව 19 සංශෝධනය යටතෙ පත්වෙන ජනාධිපතිවරයාට තියෙන්නෙ අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීමේ බලය, තානාපතිවරු පත්කිරීමේ බලය. ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය. ඕනෑම අපරාධකාරයෙකුට පොදු සමාව දීමේ හැකියාව තියෙනව. අවුරුදු හතරහමාරක් පිරුණට පස්සෙ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තියෙනවා. ඒ හැර අමාත්‍යාංශ විෂයයන් දරන්න අයිතියක් නැහැ. එනිසා සජිත් ජනාධිපති වූ පමණින් නායකත්වයේ හෝ අගමැති ධුරයේ හෝ දැන් ඉන්න ඇමති මණ්ඩලයේ වෙනසක් වෙන්නෙ නැහැ. මේ සුපුරුදු කණ්ඩායමම තමයි ඉස්සරහට යන්නෙ. ඒ නිසා අපි දකින දේ තමයි, මේ රටේ ජනතාව දකින දේ තමයි මේ කියන කණ්ඩායම් දෙක කොයි විදිහට ආවත්, මොන වෙස්මුහුණු බැඳගෙන ආවත් මේ පරණ නඬේම තමයි ඉස්සරහට යන්නෙ. ඒ නිසා ඒ කණ්ඩායම්වල කිසිදු වෙසක් දකින්න බැහැ. ප‍්‍රතිපත්ති අතින් ගත්තත් දෙකේම ප‍්‍රතිපත්ති එකයි. පසුගිය වසර 71ක් රට ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් අරාජිකත්වයට, අස්ථාවර භාවයට වැට්ටවීමේ වගකීම මේ කණ්ඩායම් දෙකම දරන්න ඕන. මේ කණ්ඩායම් දෙකම තමයි රට පාලනය කළේ. රට වැට්ටුවා නම්, විනාශ කළා නම්, මේ කණ්ඩායම් දෙකම තමයි ඒ වගකීම ගන්න ඕන.

පසුගිය කාලෙ ලොකු චෝදනාවක් තිබුණා, රාජපක්ෂ පාලනයට හොරකම් වංචා, දූෂණ සම්බන්ධව. ඒවා නවත්තනවා, අල්ලනවා කියල තමයි මේ ආණ්ඩුව ආවෙ. නමුත් එහෙම වුනේ නැහැ. මේ ගොල්ලොත් සුපුරුදු පරිදි ඒක පටන් ගත්ත. දැන් තියෙන්නේ පරණ හොරු වෙනුවට අලුත් හොරු ආපු එකක්. ඒ නිසා පරණ හොරුන් අලුත් හොරුන් දෙකම එකට තියල ප‍්‍රතිපත්තිමය වශයෙන් පරාජය කරල නව දේශපාලන සංස්කෘතියක් නව දේශපාලන නායකත්වයක් බිහිකිරීම රටේ ජනතාවගේ අපේක්ෂාව වෙලා තියෙනවා. ජාතික ජන බලවේගය අනුර දිසානායක සහෝදරයාගේ මූලිකත්වයෙන්ම මේ ජනාධිපතිවරණයට එන්නේ මේ ප‍්‍රතිපත්ති දෙකම එකට තියල ඔවුන්ගෙ එකම ප‍්‍රතිපත්තිය පරාජය කරල රට හදන, රට රකින නව දේශපාලන නායකත්වයක් ඉදිරියට ගෙන ඒම. ඒ වෙනුවෙන් තමයි අපි මේ ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය විදිහට නාම යෝජනා බාරදුන්නේ. ජාතික ජන බලවේගය සංවිධාන විසි අටක්, දේශපාලන පක්ෂ, දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන්, විවිධ වෘත්තිකයන්, නියෝජනය වන පුළුල් ජනතා මධ්‍යස්ථානයක්. අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ රටට මග කියන ජාතියට වගකියන අතරමංවෙලා තිබෙන මේ ලංකාව නිවැරදි දිශාවට ගැනීම සඳහා වෙච්ච රට නිවැරදි මගට ගෙන යන ඒ ලාංඡනය “මාලිමාව” කරගෙන මැතිවරණයට තරග කරන්නේ. මාලිමාව රටට වගකියන, ජාතියට මඟකියන ලකුණයි. ඒ ලකුණ යටතේ තමයි මේ මැතිවරණයට අපි තරග වදින්නේ. දැන් අපි ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරලා තියෙනවා. හත්වෙනිදා අපි නාම යෝජනා භාරදුන්නා. අටවැනිදා අනුර සහෝදරයාගේ උපන්ගම වන, තඹුත්තේගම නගරයේදී අපි මංගල රැලිය පැවැත් වූවා. දහවැනිදා අපි කුරුණෑගල නගරයේදී තවත් ජාතික රැලියක් පැවැත්වූවා. අද දින (11) මහනුවර නගරයේ පුෂ්පදාන ශාලාවේදී මහා සඟරුවනගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා සැබෑවටම සුපිළිවන් රටක් නිර්මාණය කරන්න ඒ මහා සඟරුවන ඉදිරිපත් කළ නිර්දේශ මත හරියටම ක්‍රියාත්මක වන, ඊට අනුකූල වුණු අපේක්ෂකයා තමයි අනුර දිසානායක සහෝදරයා.

සඟරුවන හමුවෙන් පසුව අකුරණ නගරයේදී අද ජාතික රැලියක් පවත්වනවා. ඒ අන්දමට ජාතික රැලි 50ක් අනුර සහෝදරයාගේ නායකත්වයෙන් රට පුරා පවත්වනවා. ප‍්‍රධාන නගරවල, සමහර දිස්ත්‍රික්කවල රැලි දෙක-තුනක් පවත්වන්න අපි සූදානම් කර තියෙනවා. ඒ ඒ දිස්ත්‍රික්කවල භූගෝලීය තත්ත්වය අනුව අපේ ප‍්‍රචාරක කටයුතු ආරම්භයේ සිට අවසානය දක්වා සැලසුම් කරලා තියෙනවා. උතුරු නැගෙනහිර, දකුණ ඇතුළු සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන විදිහට ජාතික රැලි පවත්වන් තීරණය කරල තියෙනවා. ඒ වගේම අනුර සහෝදරයා සහභාගි නොවන නමුත් වෙනත් නායක මට්ටමේ කථික සහෝදරවරු සම්බන්ධ කරගෙන ජාතික ජන බලවේගයේ විවිධ නියෝජිතයන් සම්බන්ධ වන රැස්වීම් 250කට වැඩි ප‍්‍රමාණයක් පවත්වන්න සැලසුම් කර තියෙනවා. ඒ වගේම ගම් මට්ටමේ ජනතාව දැනුවත් කරන කුඩා ජන හමු 3425ක් අපි සැලසුම් කර තියෙනවා. ගමින් ගමට ගෙයින් ගෙට කැන්වසින් යන්නත් පත්‍රිකා බෙදන්නත් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සංක්ෂිප්ත කෙටුම්පතක් ජනතාවට ලබාදෙන්නත් සැලසුම් කරල තියෙනවා.

ඒ වගේම ගෘහස්ථ සාකච්ඡා පැවැත්වීම කරගෙන යනවා. විදේශගත ශ්‍රී ලාංකිකයෝ යුරෝපයේ මැදපෙරදිග සහ වෙනත් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ දැනුවත් කිරීම සඳහා ස්කයිප් තාක්ෂණය හරහා විවිධ ජනහමු සූදානම් කර තියෙනවා. ඒ වගේම නීතිඥවරුන්, කාන්තාවන්, තරුණයන්, පෞද්ගලික උපකාරක පංති ගුරුවරුන්, ආදී විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන රැස්වීම් මාලාවක් අපි සූදානම් කරල තියෙනවා. ඒ වගේම අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලබන විසිහය වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්වලදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, පරිසරය, ජාතික සමගිය, සංස්කෘතිය, කෘෂිකර්මාන්තය, වැනි විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක අපේ ප‍්‍රතිපත්ති වෙන් වෙන්ව ඉදිරිපත් කරන්න අපි සූදානම් කර තියෙනවා. එහි පළමුවැන්න ලෙස අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මෙම දාහතර වැනිදා උදේ දහයට වෝටර්ස් ඒජ්වලදී අපි එළිදක්වනවා. සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රතිපත්තිය මෙම පහළොස් වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදක්වනවා. ඒ ඒ ක්ෂේත‍්‍රවල විද්වතුන් කණ්ඩායමක් ඒ සඳහා සම්බන්ධ වෙනවා.

දාහත්වැනිදා පරිසර පිළිබඳ ප‍්‍රතිපත්තිය උඩවලවේදී පරිසරයට උචිත ස්ථානයකදී අපි එළිදක්වනවා. කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය නුවර ගන්නෝරුවේදී එළිදක්වනවා. විසිහය වැනිදා වෙනකොට අපි අපේ සම්පූර්ණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වනවා. ගෙයින් ගෙට ගිහිල්ලා ඒක බෙදන්න අපි කටයුතු කරල තියෙනවා. මේ ප‍්‍රචාරක කටයුතු ක්‍රියාත්මක වීම මගින් අපේ රටේ යල් පැනගිය කොළ පාට, නිල් පාට පක්ෂ දෙකම අනුගමනය කරන එකම ප‍්‍රතිපත්තියට එරෙහිව නව දේශපාලන දැක්මක් සහිත නව දේශපාලන ගමනක් සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීමට අපි දිගටම ක්‍රියාත්මක වෙමින් ඉන්නවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්