ඇල්පිටියේ පුංචි ඡන්දය අවසන්

ඇල්පිටියේ පුංචි ඡන්දය අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ කටයුතු අද(11) පස්වරු 4.00ට අවසන් විය.

ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 7.00ට ආරම්භ විය.

මැතිවරණය ඉතාම සාමකාමී ලෙස සිදුකෙරුණු බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පැවසූ අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු ද එම ඡන්ද මධ්‍යස්ථානවල සිටම සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්ද දායකයන් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටි අතර කොට්ඨාශ මට්ටමින් මහජන නියෝජිතයින් 17 දෙනෙකු ද සමානුපාතික නියෝජනය යටතේ මහජන නියෝජිතයින් 11 දෙනෙකු ද එමඟින් තෝරා ගැනීමට නියමිතය.

ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයින් 155 දෙනෙකු ඉදිරිපත්ව ඇත.

ඡන්ද දායකයින්ගෙන් සියයට 70ක ප්‍රමාණයක් සිය ඡන්දය භාවිත කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇති අතර අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම ඇල්පිටිය ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකිරීමට නියමිතව ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්