මිත්‍යාවට එරෙහි අරගලයත් දේශපාලන අරගලයේම කොටසක්

මිත්‍යාවට එරෙහි අරගලයත් දේශපාලන අරගලයේම කොටසක්

මිත්‍යාවට එරෙහි අරගලයත් දේශපාලන අරගලයේම කොටසක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ පසුගිය ඔක්තෝබර් 10 වැනිදා මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මහාචාර්ය කාලෝ ෆොන්සේකා අනුස්මරණ උත්සවයේ ප්‍රධාන දේශනය පවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා…

“මහචාර්ය කාලෝ යනු වාමංශිකයෙක්, මානවවාදියෙක්. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස අපි හඳුනන කෙනෙක්. දිනක් කාලෝගෙන් මාධ්‍යවේදියෙක් ඔහු කවුද කියා ඇසු ප‍්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ “මම මානවාදය ප‍්‍රගුණ කළ, ජනතාවට සේවය කරන මිනිසෙකු” යන්නයි. 60-70  දශකයේ මිත්‍යාවට එරෙහිව කාලෝ විසින් විශාල අරගලයක් ගෙනයනු ලැබුවා. ඒ කාලේ ලංකාවේ මිත්‍යාව නියෝජනය කලේ කට්ටඩියො, කපුවෝ වගේ අය. ඔවුන් දේශපාලන ප‍්‍රශ්නවලට, දේශපාලන ධාරවන්ගේ වුවමනාවන්ට අතපෙව්වේ නැහැ. ජනාධිපතිවරණ පවත්වනවද නැද්ද, අරය හෝ මෙයා දිනනවාද නැද්ද යන ප‍්‍රශ්න ගැන ඔවුන් අනාවැකි කිවුවේ නැහැ. ඔවුන්ගේ ශාස්ත‍්‍රය සාමාන්‍ය ජන ජීවිතය සමඟ බද්ධ වුණු සංස්කෘතියක් හැටියටයි එදා තිබුණේ. එදා ගැමියාගේ ආර්ථික ජීවිතය අද තරම් සංකීර්ණ වෙලා තිබුනෙ නැහැ. මිත්‍යාවේ පාර්ශවය මීට දශක කිහිපයකට පෙර ඔවුන්ව නියෝජනය කළේ එබඳු පසුබිමක් යටතේයි. කාලෝ සිටියේ ඊට ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයේයි. මේ පාර්ශව දෙක අතර ගැටුම ඉතා සංකීර්ණ වුණේ නැහැ. බොහෝ විට මිත්‍යාවට එරෙහි සටන ශාස්ත‍්‍රීය සටනක ස්වරූපයක් ගත්තා. මිත්‍යාව පතුරවන ස්ථානවලට කඩා පනිමින් සරල ගැටුමක ස්වරූපයක් එය ගත්තා.

අද තියෙන්නේ ඊට වඩා සංකීරණ තත්වයක්. අද මිත්‍යාව විසින් ප‍්‍රබල ආර්ථික බලයක් හදාගෙන තියනවා. ඒක දැන් ප‍්‍රබල ආර්ථික සාධකයක් වෙලා. සමහර මිත්‍යා නියෝජිතයෝ රූපවාහිනී නාලිකාවලට එන්නේ අතින් සල්ලි ගෙවාගෙනයි. තව පැත්තකින් ගත් කල මිනිසුන්ගේ ජීවිතවල මහා කඩා වැටීම නිසා අද විශාල ජන ප‍්‍රජාවක් මිත්‍යාව දෙසට යොමුවෙලා තියනවා. ආර්ථිකය විසින් ඇති කර තිබෙන අපේක්ෂාභංගත්වය මිත්‍යාව පැතිර යාමට හොඳ තෝතැන්නක් වෙලා. අනෙක් පැත්තෙන් දැන් මේක දේශපාලන බල කවයටද ඇතුල් වෙලා. ශිෂ්‍යත්ව විභාගය ලියන දරුවන්ට දේශපාලඥයින් විසින් මතුරපු පෑන් ලබාදීම ඊට එක උදාහරණයක්. ඡන්ද දිනීම සදහා තිරුපති ගොස් ඇඟේ බරට රත්තරං දීම තව උදාහරණයක්. මෙය දේශපාලන කවයට කොතරම් කා වැදිලද කියනවම් ජන්ද දිනන්ට පෙර දින බොහෝ රූපවාහිනී නාලිකාවල මේ මිත්‍යාව වපුරන්නන් විසින් අරක්ගෙන සිටින බව ඔබට පේනවා ඇති.

මීට සතියකට පෙර ජෝතිෂ්‍ය සඳහා සංස්කෘතික අමාත්‍යංශයේ කොටසක් වෙන් කරන බවට එක ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙක් පොරොන්දු වී තිබුණා. අද ප‍්‍රධාන ධාරාවේ සමහර දේශපාලන පක්ෂවල මිත්‍යාව දේශපාලන දුෂ්ටිවාදයක් වී හමාරයි. මේවා විවේචනය කරනවිට ඔන්න අපේකම නැති එවුන් කියලා අපිට චෝදනා එල්ල කරනවා.

අද ජනයාට ප‍්‍රශනයක් වුණාම කපුවා ළඟට යනවා. කපුවට ප‍්‍රශ්නයක් වුණාම කපුවා එන්නේ දේශපාලඥයා ළගට. සමහර දේවාලවල බස්නායක නිලමේ තෝරන අවස්ථාවලදී එය අපි දැක්කා.

එදා කලෝ මේ මිත්‍යාවට විරුද්ධ උනේ ශාස්ත‍්‍රීය, කුකුස දනවන රැඩිකල් මාදිලියේ අරගලයකින්. නමුත් අද මේක දේශපාලන ව්‍යාපෘතියේ බල ව්‍යුහයක්. අද ප‍්‍රශ්නය තිබෙන්නේ එදා තලයේ නොවෙයි. අද මිත්‍යාව සඳහා විද්‍යාව හා තාක්ෂණයද උපයෝගී කරගනිමින් තිබෙනවා. රූපවාහිනී නාලිකාවල උදේට පත්තරේ විස්තරේ කියවනවා. ඉන් පස්සේ ලග්න පලාපල කියවනවා. ඇඳෙන් බහින්න කලින්ම එස්.එම්.එස් හරහා පලාපල අතට එනවා. අද කාලෝගේ යුගයට වඩා මිත්‍යාවට එරෙහි අරගලය ඉතා සංකීර්ණයි. මේ සංවාදය අපි කරන්නේ, මේවා සමඟ හැඩ ගැසුණු මිනිස්සු සමගයි. එනිසා අප අරගල කළ යුත්තේ ඔවුන් මිත්‍යාවෙන් මුදා ගැනීමටයි; ඔවුන්ව ප‍්‍රතික්ෂේප කිරීමට නෙමෙයි. එසේ වුණොත් ඔවුන් මිත්‍යාවට තව තවත් තල්ලූවී යනවා නිසැකයි.

මිත්‍යාව දැන් දේශපාලනයටද උඩින් තියන සංස්කෘතියක හැඩය ගෙන තියනවා. එනිසා එම සංස්කෘතියට එරෙහි සංස්කෘතියක් වෙනුවෙන් අපි අරගල කළ යුතුව තියනවා. මේ මිත්‍යා කඳවුරේ නියෝජිතයෝ අපේ අතීත තාක්ෂණ උරුමයන් වගේ දේවල් කතා කිරීමෙන් වැළකිලා ඉන්නවා. බිසෝ කොටුව, මඩ සොරොව්ව, යෝධ ඇල, අපේ අතීත තාක්ෂණික නිර්මාණයන්. අලුතෙන් මාදුරු ඔය වේල්ල හැදුවේ අපේ මුතුන් මිත්තන් එදා හදපු තැනමයි. ඊට සුදුසුම තැන එතන බවට නවීන ඉංජිනෙරුවො පවා තීන්දු කළා. සීගිරිය මුදුනට වතුර ගෙනගියේ කොහොමද? අපි අතීත භෞතික උරුමයන් ගැන සාකච්ඡාවට ගන්න ඕනැ. ඒ වෙනුවට ප‍්‍රතිවිරුද්ධ කඳවුර කරන්නේ අතීත මිත්‍යා උරුමයන් කරතබාගෙන යාම පමණයි. නරක දේ බැහැර කරලා හොඳ දේ අපි අතීතයෙන් ගත යුතුයි.

අද මිත්‍යාවට එරෙහි අරගලය දේශපාලන අරගලයේම කොටසක් කරගත යුතුයි. ඒ සඳහා මිත්‍යාවට එරෙහිව මැදිහත් වන අය සහ දේශපාලනය අතර සංවාදයක් අන්තර් සම්බන්ධයක් ඇති කළ යුතුයි. නමුත් සත්‍යවාදීන්ගේ කඳවුර තාම ලිලිපුට්ටන්ගේ, අරක ගලිවර්ලගේ දෙවැනි එක වැද්දෙක් නම් පළමු එක වටුවෙක්. අපේ ව්‍යාපාරය මිත්‍යාවට එරෙහිව නොනවතින අරගලයක් කරන බවට අපි සහතික වෙනවා.”

Facebook
Twitter
LinkedIn