තිරප්පනේ ජවිපෙ මන්ත්‍රීට මැර ප්‍රහාරයක්

තිරප්පනේ ජවිපෙ මන්ත්‍රීට මැර ප්‍රහාරයක්

තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රෝහණ විජේතිලක මහතාට ඊයේ (09) රාත්‍රීයේ මැර ප්‍රහාරයක් එල්ල්වී ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 9.35ට පමණ රෝහණ විජේතිලක මහතාගේ නිවස අසළට කැබ්රථයක් පැමිණ නතර කර ඇත. වාහනයක ශබ්දයත් සුනඛයන්ගේ ශබ්දයත් නිසා රෝහණ විජේතිලක මහතා නිවසේ ඉදිරිපිට දොර විවෘත කර බැලීමේදී දොර අසළට පැමිණ සිටි පුද්ගලයෙක් සිය රථයේ දෝශයක් යැයි පවසා උදව්වක් ඉල්ලා ඇත. එවිට ඔවුන් කරුවන්දැයි හඳුනාගැනීම සඳහා විමසීමත් සමග මන්ත්‍රීවරයාට පිටුපසින් පැමිණි පුද්ගලයෙකු මන්ත්‍රීවරයාව ඉදිරියට තල්ලු කර තිබේ. ඒත් සමගම ඉදිරියේ සිටි තවත් පුද්ගලයෙකු යකට බටයක් වැනි මුගුරකින් පහරදී ඇති අතර මන්ත්‍රීවරයා එයින් බේරී පලායාමට තැත් කිරීමේදී තවත් පුද්ගයෙකු ඔහුට පහරදී ඇත.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඔවුන්ගෙන් බේරී පලාගොස් ඇති අතර ඒත් සමගම කැබ් රථයෙන් පැමිණි මැර පිරිසද පලාගොස් තිබේ. එම මැරයන් මන්ත්‍රී රෝහණ විජේතිලක මහතාගේ බිරිඳටද පහරදී ඇති බව වාර්තා වේ.

ඔවුන් පැමිණ ඇත්තේ සුදු පැහැයට හුරු කැබ් රථයකින් බව මේ වනවිට අනාවරණය වී ඇතැයිද වාර්තා වේ.

පසුගිය සභාවාරයේදී තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ ජනවාරි මස අයවැය ලේඛනය සම්මතකරගැනීමට ඉදිරිපත් කර තිබේ. එහිදී එම අයවැය ලේඛනයේ ගෙවීම් සම්බන්ධ දෝශයක් නිසා එය සම්මත කර ගැනීමට ඉඩ ලබා නොදෙමින් ජවිපෙ මන්ත්‍රී රෝහණ විජේතිලක මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය දක්වා ඇත. ඒ හේතුවෙන් සභාපතිවරයාට ජනවාරි මස අයවැය සම්මත කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් සභාපතිවරයා ජවිපෙ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සමග දැඩි කෝපයකින් පසුව ඇති බවද මේ අතර වාර්තා වේ.

මැර ප්‍රහාරයට ලක්වූ තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රෝහණ විජේතිලක මහතා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Facebook
Twitter
LinkedIn