ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි නියෝග

ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි නියෝග

ජාතික ලොතරැය් මණ්ඩලයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියකට මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු සභාපතිවරයා වන චමින්ද අතලුවගේ ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ එහි සභාපතිවරයා වශයෙන් සිටියදී ප්‍රචාරක දැන්වීම් පුවරු සවිකිරිමේ මුවාවෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු වරදවල් යටතේ හිටපු සභාපති චමින්ද අතලුවගේ මහතා ඇතුළු තිදෙනා සිද්ධිය සම්බන්ධයෙන් සකකරුවන් බවට නම් කරන බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී ඇත.

එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර තිබේ.

මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් දැන්වීම් පුවරු සවි කල බව කියන ආයතනයේ ටෙන්ඩර්හිමියා වන රෝෂාන් ප්‍රනාන්දු නැමැත්තා සහ ඔහුගේ සහායකයා වන සමන්ත සමරවීර යන අයද සැකකරුවන් ලෙස නම් කර ඇත.

හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සිද්ධියට අදාළව අධිකරනයට කරුණු වාර්තා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසා ඇත්තේ දැන්වීම් පුවරු සවි කිරීම සඳහා ප්‍රාදේශීය සභා නගර සභා සහ නාගරික සංවර්ධන අධිකාරියට ඒවා අයත් බල ප්‍රදේශවලට රුපියල් ලක්ෂයක බදු දීමනාවක් ගෙවන බවට ගිවිසගෙන එම මුදල ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලබාගෙන ඇති බවත් එම මුදල් අදාළ ආයතනවලට නොගෙවා ඔවුන් සතු කරගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බවය.

දැන්වීම් පුවරු 150ක් සවි කරන බව දැනුම් දුන්නද සවි කර තිබී ඇත්තේ දැන්වීම් පුවරු 135ක් බව සිදු කළ විමර්ශන අනාවරණය කළ බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් අධිකරණයට දන්වා ඇත.

පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ මුදල් ප්‍රචාරක කටයුතුවලට බව කියමින් දේශපාලන කටයුතු සඳහා වෙනත් පුද්ගලික ආයතනවලට ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදු කළ බවත් ඒ අනුව මේ පුද්ගලයන් තිදෙනා සැකකරුවන් ලෙස නම් කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දන්වා තිබේ.

මෙම නඩුව ලබන මැයි මස 21 වනදා යලි කැඳවීමට නියමිත අතර එදිනට විමර්ශනවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්