තමාට එරෙහි ජනතා මුදල් අවභාවිතා කිරීමේ නඩුව විභාගයට නොගන්නැයි ගෝඨාගෙන් පෙත්සමක්

තමාට එරෙහි ජනතා මුදල් අවභාවිතා කිරීමේ නඩුව විභාගයට නොගන්නැයි ගෝඨාගෙන් පෙත්සමක්

වීරකැටිය මැදමූලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතකට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (8) කැඳවූ අතර පෙත්සම ලබන 12 වැනිදා සළකා බැලීමට කල් තබා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී අබේකෝන්, එම.එස්.කේ.බී විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

තමන් එසේ සාවද්‍ය ලෙස පරිහරණය කළ රුපියල් මිලියන 33.9ක මුදල් ආපසු ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට ගෙවූ බව ගෝඨභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ අවස්ථාවකදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය.

වීරකැටිය මැදමූලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ජනතා මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුවේ විත්ති කරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සමග 07 දෙනෙකු නම් කර ඇති අතර එම සෙසු විත්තිකරුවන් වන්නේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn