මන්නාරම සමූහ මිනීවල සම්බන්ධ කැනීම් නවතී

මන්නාරම සමූහ මිනීවල සම්බන්ධ කැනීම් නවතී

මන්නාරම සමූහ මිනී වල සම්බන්ධයෙන් වන කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා අද(08) නියෝග කළ බව, මන්නාරම සමූහ මිනීවල සම්බන්ධ කැනීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මිනී වලෙන් ලබාගත් අස්ථි සාම්පලවලට අදාල කාබන් කාල නිර්ණ වාර්තාව ඊයේ(07) මහජන ලියවිල්ලක් මගින් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය මෙම තීරණය ගෙන තිබේ.

එ් අනුව මිනී වල සම්බන්ධ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බවත් ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කරන බවත් සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ ප්‍රසිද්ධියට පත්කළ දත්ත වාර්තා අනුව මිනී වලෙන් ලබාගත් අස්ථි සාම්පල ක්‍රිස්තු වර්ශ 1450ත් 1650ත් අතර කාලවකවානුවට අයත් බව අනාවරණය විය. නමුත් විශ්ලේශකයන් පවසා සිටියේ කාලීමාව නිස්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදුකළ නොහැකි බවයි.

මන්නාරම සමූහ මිනීවල සම්බන්ධ කැනීම් කටයුතු අද 156 වන දිනටත් සිදුකළ අතර මේ වනවිට සිරුරු 330කට අයත් අස්ථි කොටස් මතුකර ගෙන ඇත. ඉන් ළමුන්ගේ බවට සැකකළ හැකි සිරුරු 30ක් ද අයත් වේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පුරා විද්‍යාව පිළිඹඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කර සිටියේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළේය.

සාම්ප්‍රදායික සුසානභූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවි ඇති බවද හෙතෙම පැවසුවේය.

Facebook
Twitter
LinkedIn