2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇති දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.
2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදි ක්‍රියාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයින් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් හි නිලධාරින් වශයෙන් සේවයේ නිරත ව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණලිි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.
එබඳු වරදවල් සම්බන්ධයෙන් නිතී ප‍්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.
මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ‍්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
එහි පළමු අතුරු වාර්තාව මාස 03ක් ඇතුළතත් නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06ක් ඇතුළතත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා විසින් මෙවැනිම කොමිෂන් සභා කිහිපයක් මීට පෙරද පත් කරණ ලදී. ඉන් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සහ 2015ට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුව කාලයේ බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කොමිසමේ වාර්තා මේ වනවිට නිකුත් කර ඇතත් ඊට අදාළව ජනාධිපතිවරයා විසින් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.










