අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහරදීම ගැන පරීක්ෂණ

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහරදීම ගැන පරීක්ෂණ

අඟුණකොළපැලැස්ස රක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එහි ඉහළ බන්ධනාගාර නිලධාරින් පිරිසක් විසින් අමාණුෂික ලෙස පහරදෙමින් වධහිංසා කිරීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මගින් ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වීමට කළ පලිගැනීමක් වශයෙන් මෙසේ වධහිංසා කර ඇතැයිද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියටත් එම කමිටුව විසින් පැමිණිලි කරන්නේ යැයිද පසුගිය 16වනදා පැවැත්වු මාධ්‍ය හමුවකදි අනාවරණය කරන ලදී.

නිලධාරින් විසි දෙනෙකුට අධික පිරිසක් බන්ධනාගාර පරිශ්‍රයෙහිදී පොලු මුගුරු මගින් කරනු ලබන පහරදීමකට අදාළව පැය භාගයක පමණ කාලයක් පුරා ධාවනය වන සී.සී.ටී.වී දර්ශන අඩංගු සංයුක්ත තැටියක් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම ප්‍රහාරයට බන්ධනාගාර අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයාත් ජේලර්වරුන් හා නියාමකරුවන් පිරිසක් සෘජුවම සම්බන්ධ යැයි එම කමිටුව විසින් චෝදනා කරයි.

“මේ ප්‍රහාරය ලොකු කුමන්ත්‍රණයක්. පසුගිය වසරේ ඔක්තෝම්බර් 21 වැනිදා අගුණුකොලපැලැස්සේ රැඳවියන් විරෝධතාවයක් කළා. ඊට හේතුවුණේ තමන් බැලීමට එන නෑ සියන් පොලිස් විශේෂ කාර්යබළකාය මගින් නිරුවත් කර අමානුෂික ලෙස පරීක්ෂා කිරීමයි.

මෙවැනි විරෝධතාවයකට රැඳවියන්ට උපදෙස් දුන්නේ අදාළ පරීක්ෂාවට උපදෙස් දුන් බන්ධනාගාර අධිකාරිවරයාමයි.

අධිකාරිවරයාට වුවමනා වුණේ රැඳවියන්ගේ විරෝධතාව හරහා ආපන ශාලාව කඩා බිඳ දමන්නටයි. එහෙත් මේ ගැන දැනුම්වත් වූ රැඳවියන් සිය විරෝධය ඉන්පසුව බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව සිදුකළා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ තමන් රජයේ දේපළවලට හානි කිරීමට පොළඹ වූ අධිකාරිවරයා බන්ධනාගාරයෙන් මාරු කරන හැටියටයි.

ඒ උද්ඝෝෂණය බන්ධනාගාර ඉහළ නිලධාරින් මැදිහත් වී සමථයකට පත්කළා. එහෙත් ආණ්ඩු මාරුව සමග අධිකාරිවරයා තමන්ට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිසගෙන් පලිගැනීමට තීරණය කළා. මෙම ප්‍රහාරයට අධිකාරිවරයා සමග සම්බන්ධ වූ නිලධාරින්ගේ හා නියාමකවරුන්ගේ නම් ලැයිස්තුව අප සතුයි. අප ඒ සියලු සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ බාරදුන්නා.

මීට පෙරත් වැලිකඩ, කුරුවිට, බිඳුණුවැව බන්ධානාගාරවල මෙවැනි ම්ලෙච්ඡ ප්‍රහාර සිදුවුණා.

බන්ධනාගාර කියන්නේ සිරකරු පුනරුත්ථාපන ආයතන වුණත් අද සිරකරුවන්ට පෙර බන්ධනාගාර නිලධාරින් පුනරුත්ථාපනය කිරීමට සිදුව තිබෙනවා. සිය පෞද්ගලික මානසික අවුල් වියවුල්වලට පවා බන්ධනාගාර නිලධාරින් පලිගන්නේ සිරකරුවන්ගෙන්. එහෙත් මෙසේ ප්‍රහාරයට ලක්වන්නේ රිමාන්ඞ් සිරකරුවන් වීම විශේෂයි. විශේෂයෙන්ම වරදකරුවන්ට සැලකීම සම්බන්ධයෙන් අවම ප්‍රමිති ඇතුලත් අන්තර්ජාතික ප්‍රඥප්තිවලට රටක් හැටියට අප අස්සන් කර තිබෙන වටපිටාවක මේ ප්‍රහාරය අතිශය බරපතලයි. මේ ප්‍රහාරයට අදාළ සී.සී.ටී.වී දර්ශන සහිත සාක්ෂි ලබාදුන් පාර්ශ්වයන්ගේ ජීවිතවලට දැනටම අවදානමක් මතුව තිබෙනවා. එනිසා මේ ගැන රජය කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය යි.” යැයිද එම් මාධ්‍ය හමුවේදී ඔවූහු සඳහන් කළහ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් හා එහි සාමාජිකා ශමිලා ලියනාරච්චි යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් පළ කළහ.

මේ අතර අඟුණකොළපැලැස්ස  බන්ධනාගාරයේ සිරකරුවන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයිද වාර්තා වේ.

ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබන සඳුදාට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාට යොමුකිරීමට නියෝග කර ඇතැයිද වාර්තා වේ.

කෙසේ නමුත් මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කර වාර්තාවක් නිකුත් කර ඇති අතර ඊට අදාලව එම ඝාතනයට ලක්වූ රැඳවියන්ට හා ඉන් විවිධ පීඩාවට පත් රැඳවියන්ට සාධාරණය ඉටු වීම මෙතක් සිදුව නැත.

Facebook
Twitter
LinkedIn