කදිරගාමර්ගේ ඝාතන සැකකරුවකු අත්අඩංගුවට

කදිරගාමර්ගේ ඝාතන සැකකරුවකු අත්අඩංගුවට

මෙරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු මෙන්ම විශිෂ්ඨ රාජතාන්ත්‍රිකයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරිහු කියති. වසර 2005දී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ජර්මානු බලධාරීන් උපුටා දක්වමින් ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි.

නවනීතන් ජී නැමැති 39 හැවිරිදි එම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇත්තේ බටහිර ජර්මනියේ පිහිටි ඔහුගේ නිවසේදීය. ජර්මානු පොලිසිය සහ එරට බලධාරීන් පසුගිය 16 වනදා ඔහුගේ නිවස පරීක්ෂා කර තිබෙන අතර ඒ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ජර්මනියේ පෞද්ගලික නීති හේතුවෙන් එම පුද්ගලයාගේ වාසගම හෙළිදරවු කර නැති අතර විදෙස් ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය, ඝාතනය සහ ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල කරමින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහස් පොලිසියේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බවත් 2005 වසරේදී හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට සම්බන්ධ වී ඇති බවත් ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවත් ජර්මානු බලධාරිහු කියති.

මෙම සැකකරු ජර්මනියට පැමිණ ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

ලක්ෂ්මන් කදිරගාමර් මහතා 1994 වසරේ සිට 2001 වසර දක්වාත් 2004 වසරේ සිට ඝාතනය වන අවස්ථාව දක්වාත් මෙරට විදේශ අමාත්‍ය ධුරය හෙබවීය.

2004 වසරේදී කදිරගාමර් මහතා මෙරට අගමැති ධුරයටද නම් වූ අතර එවකටද මෙරට පැවති ජාතිවාදී බලවේග විසින් එය ව්‍යර්ථ කළේ ය.

අභාවයෙන් පසු ශ්‍රී ලාංකිකයකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව නාමය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට පිරිනැමීට රජය පියවර ගත්තේය. ඒ මහතා මෙරටින් බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයකි.

Facebook
Twitter
LinkedIn