ගෝඨා ඇතුළු 7කට එරෙහි නඩුව 17ට කල්යයි

ගෝඨා ඇතුළු 7කට එරෙහි නඩුව 17ට කල්යයි

පැවති රාජපක්ෂ පාලන සමය තුල මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට ආසන්න රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවතින නඩුවට අදාලව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයාට ලබන 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාල නඩුව නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අතර අද(11) පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නීති නිලධාරිනිය පවසා සිටියේ විත්තිය විසින් ඉල්ලා සිටින ඇතුම් ලේඛන සොයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි අවිනිස්චිත පිළිතුරක් බව චෝදනා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව කිසිදු අවස්ථාවක පැමිණිල්ල හෝ පොලිසිය සමඟ සම්බන්ධීකරණය නොකරන බවයි.

එසේම ඉහත ප්‍රකාශය නඩු විභාගය කල් තැබීම සඳහා එම සංස්ථාව දරන උත්සාහයක් යන සැකය තමන්තුළ පවතින බවත් විත්තිය ඉල්ලා සිටින  අදාළ ලේඛන ලබා දිය හැකිද නැද්ද යන්න පිළිබඳව එම සංස්ථාවේ සභාපතිවරයා අධිකරණය හමුවට කැඳවා නිශ්චිත පිළිතුරක් ලබාගත යුතු බවද දන්වා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල පවසා සිටියේ විත්තිය ඉල්ලන ලිපි ලේඛන ලබාදිය හැකිද නැද්ද යන්න පිළිබඳ නිස්චිත පිළිතුරක් ලබන 17 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිට ලබාදෙන ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා සභාපතිවරයාට නියෝග කළේය.

නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ අද පෙනී නොසිටි අතර ඔහු විදෙස් ගතව ඇති බැවින් ඊළඟ නඩු වාරයේදී අධිකරණයේ පෙනීසිටීමට කටයුතු කරන බව ඔහුවෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා පැවසීය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික  ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn